Presidential Media Unit Default Banner

අද අවශ්‍යව ඇත්තේ හිස් මිනිසුන්ගේ බොල් හඬවල්වලට වඩා යහපත්, උගත් මිනිසුන්ගේ සහ දේශප්‍රේමින්ගේ අවංක හඬත් සමග නිවැරදි ගමන් මගක් බව ජනාධිපතිතුමා පවසයි.

එම ගමන් මගට නායකත්වය ලබා දීමට මේ රටේ ප්‍රධාන මහජන සේවකයා ලෙස තමා සූදානම් බව පැවසූ ජනාධිපතිතුමා ඒකීය මෙන්ම සමෘද්ධිමත් දේශයක් ලෙස රට ගොඩනැගීමට බේදයකින් තොරව එක්වන ලෙස තමා සියලූදෙනාට ගෞරවයෙන් ආරාධනා කරන බවද ප්‍රකාශ කළේය.

ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (10) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති “උත්තමාභිවන්දනා” කැප්පෙටිපොළ විරු සැමරුමට එක් වෙමිනි.

අද තිඛෙන ප්‍රශ්ණ විසඳිය හැක්කේ වීර කැප්පෙටිපොළ නිලමේතුමා භාවිතා කළ කඩුවෙන් හෝ ටී 56 හෝ මල්ටි බැරල්වලින් නොව ප්‍රඥාවෙන්, දැනුමෙන් සහ බුද්ධියෙන් ඒවාට මුහුණදීම තුළින් බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා රට ජාතිය අවදිකර, දේශාභිමානය ගොඩනගා යුගයේ යුග මෙහෙවර ඉටු කිරීමට එක්වන ලෙස රටේ සියලූ උගතුන්ට සහ බුද්ධිමතුන්ට තමා ආරාධනා කරන බව කියා සිටියේය.

ප්‍රශ්ණ සහ විවේචන ඉදිරිපත් කිරීමට ඕනෑම අයෙකුට හැකියාව තිබුණද විසඳුම් සහ මඟපෙන්වීම් නොලැබෙන බව පැවසූ ජනාධිපතිතුමා අද දවසේ අභියෝග තේරුම්ගෙන අපගේ ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ පාඩම් අධ්‍යයනය කරමින් රටගොඩනැගීමට සියලූදෙනා පිබිදීමෙන්, අභිමානයෙන් සහ උද්දාමයෙන් නැගී සිටිය යුතු බවද ප්‍රකාශ කළේය.

නවීන තාක්ෂණය සමග නුසුදුසු දේ, නොගැලපෙන දේ සමාජයට ගලා එන අතර අපේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය සහ සංස්කෘතිය සභ්‍යත්වය වෙනුවෙන් සියලූදෙනාට සිය වගකීම් ඉටුකිරීමට නැවත කාලය පැමිණ තිබෙන බව ජනාධිපතිතුමා කියා සිටියේය.

ලාංකීය නිදහස් සටනේ ආරම්භය ලෙස සැලකෙන 1818 ඌව වෙල්ලස්ස අරගලය හා ඊට නායකත්වය දුන් කැප්පෙටිපොළ දිසාව ප්‍රමුඛ විරුවන් සැමරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබූණි.

ජනාධිපතිතුමා විසින් දේශප්‍රේමින් බවට ඔසවා තබමින් පසුගියදා නිවේදනය කරන ලද වීරවරයන්ගේ නම් ඇතුළත් ඵලකයක් අනාගත පරම්පරාවෙහි දැනගැනීම පිණිස ශ්‍රී ලංකා ජාතික කෞතුකාගාරයේ, නිදහස් චතුරශ්‍ර කෞතුකාගාරයේ තැන්පත් කිරීම සඳහා එම ආයතන ප්‍රධානින් වෙත පිරිනැමීම හා මහනුවර ශ්‍රී දළදා මාළිගා කෞතුකාගාරයේ වෙනුවෙන් දියවඩන නිළමේවරයා වෙත පිරිනැමීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

බි්‍රතාන්‍ය ජාතිකයින් විසින් දේශද්‍රෝහින් ලෙස නම් කෙරුණු වීර කැප්පෙටිපොළ මහා දිසාවේ ඇතුළු 19 දෙනෙකුගේ නම් එම ලේඛනයෙන් ඉවත් කළා සේම බ්‍රිතාන්‍ය ජාතිකයින් දේශද්‍රෝහින් ලෙස නම් කර ඇති සෙසු වීරවරයන්ද එම ලේඛනයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සංදේශයක්ද වීර මොණරවිල කැප්පෙටිපොළ ජාතික පදනමේ සභාපති වෝල්ටර් පරහිටියාවතැන්නේ මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුු අතර ඉතිහාසඥයින්, ආචාර්ය මහාචාර්යවරුන් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ සඳහා කුමන ආකාරයෙන් කටයුතු කළයුතු ද යන්න තීරණය කර ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන බව ජනාධිපතිතුමා පැවසීය.

අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, විජයදාස රාජපක්ෂ, රංජිත් මද්දුමබණ්ඩාර, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ යන මහත්වරුන් ද මහාචාර්ය ජේ.බී. දිසානායක, කේ.එන්.ඕ. ධර්මදාස යන විද්වතුන් ඇතුළු ආචාර්ය මහාචාර්යවරුන් ද, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසූරිය මහතා ඇතුළු රාජ්‍ය නිළධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

© 2015 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය