Presidential Media Unit Default Banner

අධික වැසි සහ ගංවතුරෙන් විපතට පත් වූ මුලතිව්, කිලිනොච්චි සහ මන්නාරම දිස්ත‍්‍රික්කවල ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සැලසීමට ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශ වලට උපදෙස් දෙයි.

ගංවතුර තර්ජනය පහව යන තෙක් තර්ජිත ප‍්‍රදේශ වල වැසියන් සියලූ දෙනා වෙත අවශ්‍ය සියලූ පහසුකම් නොපමාව සලසන ලෙසත්, ඒ වෙනුවෙන් අවශ්‍ය ප‍්‍රතිපාදන කඩිනමින් දිස්ත‍්‍රික් ලේකම්වරුන් වෙත මුදාහරින ලෙසත් අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු අදාළ අංශ වලට උපදෙස් දී ඇති ජනාධිපතිතුමා, උතුරු පළාත් ආණ්ඩුකාරතුමා දිස්ත‍්‍රික් ලේකම්වරුන්, යුද හමුදාපතිවරයා සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන එක්ව මෙම සහන වැඩසටහන් කඩිනමින් ක‍්‍රියාත්මක කරන ලෙසට ද වැඩි දුරටත් උපදෙස් දී ඇත.

උතුරු පළාතට බලපෑ තද වැසි හේතුවෙන් කිලිනොච්චි, මුලතිව් සහ මන්නාරම දිස්ත‍්‍රික්ක ගංවතුර තර්ජනයට මුහුණ පෑ අතර, ඒ හේතුවෙන් පිටාර මට්ටම ඉක්මවා ගිය ඉරණමඩු ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කිරීමට ද කටයුතු කෙරෙණි.

ගංවතුර තර්ජනය හේතුවෙන් කිලිනොච්චි, මුලතිව් සහ මන්නාරම් දිස්ත‍්‍රික්ක වල වැසියන් විපතට පත්ව පීඩා විඳින අතර එම දිස්ත‍්‍රික්ක වල ක‍්‍රියාත්මක ආරක්ෂිත කඳවුරු 40ක් තුළ එම වැසියන්ට සහන සැලසීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු යොදා ඇත.

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය