02

අයහපත් කාලගුණයෙන් විපතටපත් රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ගෙන යන සහන වැඩපිළිවෙළ සහ එහි ඉදිරි කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (29) පෙරවරුවේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ගියේය.

ආපදාවටලක්වූ ජනතාව වෙනුවෙන් ගෙන යන සහන වැඩපිළිවෙළේ එක් එක් ක්ෂේත්‍ර පිළිබඳ වෙන වෙනම මෙහිදී කරුණු විමසූ ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේ විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ගතහැකි උපරිම පියවර ගන්නා ලෙසයි.

තවදුරටත් මුදල් ප්‍රතිපාදන අවශ්‍ය වන්නේනම් වහාම දන්වන ලෙස මෙහිදී දිස්ත්‍රික් ලේකම්වරිය වෙත උපදෙස් දුන් ජනාධිපතිතුමා විශේෂයෙන්ම බෝට්ටුවලින් ළගාවිය නොහැකි ජීවිත අවධානම් සහිත ස්ථානවල සිරිවී සිටින ජනතාව මුදා ගැනීම සදහා විශේෂ වැඩපිළිවෙළක් කි්‍රයාත්මක කිරීමට ද උපදෙස් දුන්නේය.

කඳවුරුවල වෙසෙන ජනතාවට අවශ්‍ය ආහාර, ඛෙහෙත් ද්‍රව්‍ය මෙන්ම ඇඳුම් පැළඳුම් පිළිබඳ නිරන්තරයෙන් සොයා බලමින් ඒවා සපුරාදීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

මියගිය අයගේ ආදාහන කටයුතු සිදුකිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද කරුණු විමසූ ජනාධිපතිතුමා ජලය බැස ගිය පසු ජනතාවගේ නිවාස සහ ළිං පිරිසිදු කිරීමේ කටයුතු සඳහා අනුගමනය කරන ක්‍රමවේදය පිළිබඳව ද කරුණු විමසීය.

එමෙන්ම හානි වූ නිවාස ඉදිකරදීමේදී ති්‍රවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බලකායේ සහය ලබාගැනීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා එම ජනතාවගේ ජීවනෝපායමාර්ග නැවත තහවුරු කිරීම වෙනුවෙන් යම් සහනදායි වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට ද උපදෙස් දුන්නේය.

ශ්‍රී ලංකාවේ විපතට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීමට මේ වන විට රටවල් කිහිපයක්ම ඉදිරිපත් වී ඇති බවත්, ඉන්දියාවෙන් මේ වන විට ආධාර නෞකා දෙකක් ශ්‍රී ලංකාවට ඒවා ඇති බවත් සඳහන් කළ ජනාධිපතිතුමා ජාත්‍යන්තරයේ එම සියලූදෙනාගේ සහය ඇතිව, විපතටපත් සියලූ ජනතාවගේ ජන ජීවිත නැවත ගොඩනැංවීමට රජයේ සියලූ වගකීම් ඉටුකරන බව ද අවධාරණය කළේය.

අමාත්‍ය ඩබිලිව්.ඩි.ජේ. සෙනෙවිරත්න, තලතා අතුකෝරළ, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත් මහත්මීන් ද, දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මැති ඇමතිවරු සහ, රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරිය ඇතුළු රාජ්‍ය නිලධාරින් මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

03

04

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය