01 (6)

එළැඹිය හැකි නියං තත්ත්වයට රජයක් ලෙස මුහුණදෙමින් ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා අමාත්‍යාංශ මට්ටමේ සූදානම පිළිබඳ විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.

පීඩාවන් අවම කර ගනිමින් ජනතාවට අවශ්‍ය සහන සැලසීමේදී හදිසි තීරණ ගැනීම සඳහා විදුලිබල අමාත්‍යාංශයේ, මහවැලි අමාත්‍යාංශයේ සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්වරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කිරීමට ද මෙහිදී ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

එමෙන්ම නියං තත්ත්වයට මුහුණදීම සඳහා ඒ ඒ අමාත්‍යාංශ මගින් දැනට ක්‍රියාත්මක කරන සහ ඉදිරියේදී සැලසුම් කර ඇති වැඩසටහන් පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ අතර අපගේ ජල මුලාශ්‍ර ආරක්ෂා කර ගනිමින් මෙවන් තත්ත්වයන් අවම කරගැනිම සඳහා ගතයුතු පියවරයන් පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

දැනට සිඳී ඇති වැව් ප්‍රතිසංස්කරණ කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ද උපදෙස් දුන් ජනාධිපතිතුමා ජල සම්පත අරපිරිමැස්මෙන් භාවිතා කරමින් එය සුරැකීම සඳහා සියලූ ජනතාවට පුළුල් අවබෝධයක් ලබාදීමේ වැඩසටහනක අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය.

අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, රංජිත් සියඹලාපිටිය, දුමින්ද දිසානායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ලසන්ත අලගියවන්න යන මහත්වරුන්වරුන් ද අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු නිළධාරින් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

02 (1)

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය