01

මහනුවර නගරයේ ප‍්‍රධාන පාරිසරික ගැටළුවක් බවට පත්ව ඇති කටුගස්තොට, ගොහාගොඩ කැළි කසල කන්ද පිළිබඳ ගැටළුවට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.

මීතොටමුල්ල වැනි තවත් ඛේදවාචකයකට ඉඩ නොතබා එම ගැටලූව විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා බලධාරීන්ට අවධාරණය කළේ ගොහාගොඩ කසළ කළමණාකරණ මධ්‍යස්ථානයේ කටයුතු විධිමත් කිරීම පිළිබඳ අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ය.

මහනුවර මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක කැළි කසල බැහැර කිරීම සඳහා යොදා ගනු ලබන කටුගස්තොට ගොහාගොඩ කැළි කසල කන්ද පිළිබඳ ගැටළු රැසක් මතුව තිබෙන බවට ප‍්‍රදේශවාසීහු චෝදනා කරති.

ජනතාව පීඩාවට පත්වීමට ඉඩ නොතබා විධිමත් කසල ප‍්‍රතිචක‍්‍රීය ක‍්‍රමවේදයක් ඔස්සේ එම කසළ බැහැර කිරීමට කටයුතු කරන ලෙසත්, නගර සභාව සහ පළාත් සභාව එක්ව ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන ලෙසත් උපදෙස් දුන් ජනාධිපතිතුමා ඒ සඳහා අවශ්‍ය සහය ලබාදෙන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය වෙත ද උපදෙස් ලබා දෙනු ලැබීය.

මධ්‍යම පළාත් ප‍්‍රධාන ලේකම්වරයා ඇතුළු නිලධාරිහු මීට එක්ව සිටියහ.

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය