1

මෙරට සීග්‍රයෙන් ඉහළ යන බෝ නොවන රෝග පිළිබඳ තත්ත්වයන් පාලනය කිරීම අරමුණු කර ගනිමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය අද සිට ලබන 12 වනදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.

එහි සමාරම්භය සනිටුහන් කරමින් ක්‍රීඩා හා ශරීර සුවතා වැඩසටහනක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි. ඉන් අනතුරුව පැවති සුවතා පා ගමනට ද ජනාධිපතිතුමා එක් විය.
මේ හා සමගාමීව සියලූ රාජ්‍ය ආයතනවල ද වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

“සුවය” සතුට ජයග්‍රහණය සඳහා ක්‍රීඩාව, යන්න මෙවර ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතියේ තේමාව වන අතර මෙම සතිය තුළ ඒ පිළිබඳ විවිධ සංවාද, ප්‍රකාශන, දේශන, බැනර් කටවුට් ප්‍රදර්ශනය වැනි වැඩසටහන් හරහා සියලූ ජන කොටස් දැනුවත් කිරීම සිදු කෙරේ.

ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන රාජ්‍ය, සංස්ථා නිලධාරින්ගේ දිනය ලෙස අද දිනය නම් කර තිබූ අතර, හෙට දින ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන පෞද්ගලික සේවා දිනය ලෙසද, පෙබරවාරි 08 වනදා ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ළමා හා මාතෘ දිනය ලෙසද, පෙබරවාරි 09 වනදා ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන වනිතා දිනය ලෙසද, පෙබරවාරි 10 වනදා ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන වැඩිහිටි හා ආබාධ සහිතවුවන් සඳහා වූ දිනය ලෙසද, පෙබරවාරි 11 වනදා ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන තරුණ දිනය ලෙසද, පෙබවාරි 12 වනදා ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ප්‍රජා සහභාගිත්ව දිනය ලෙසද නම් කර තිබේ.

ක්‍රීඩාව තුළින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබා ගැනීමට හැකිවන පරිදි ක්‍රීඩාශීලි සෞඛ්‍ය සම්පන්න පරපුරක් නිර්මාණය කිරීම ද මෙම වැඩසටහනේ ප්‍රමුඛ අරමුණකි.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, නියෝජ්‍ය අමාත්‍ය එච්.එම්.එම්. හාරිස්, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ඩී.එම්.ආර්.බී. දිසනායක යන මහත්වරුන් ද ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ කාර්ය මණඩලය වැඩසටහනට එක්ව සිටියහ.

2

3

4

5

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය