1

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල කසළ බැහැර කිරීම් විධිමත් කිරීම සඳහා අදාළ සියලූ ආයතන එක්ව නිසි ක්‍රමවේදයකට එළැඹිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

කසළ කළමනාකරණය සම්බන්ධයෙන් වගකීම් දරන ප්‍රධාන ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොමැතිවීම කසළ කළමනාකරණය දුර්වලවීමට ප්‍රධාන හේතුවක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එහිදී එක් එක් ආයතන තමන් වෙත පැවරී ඇති වගකීම් නිසි ලෙස ඉටුකළ යුතු බව ද කියා සිටියේය.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

කොළඹ නගරයේ කසළ කළමනාකරණය මෙන්ම අලංකරණ කටයුතු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. විහාරමහාදේවි උද්‍යානය, බේරේ වැව අවට කලාපය ඇතුළු ස්ථාන කිහිපයක සිදු කළයුතු අලූත් වැඩියා කටයුතු සිදු නොවීම සහ එම ස්ථාන නිසි ලෙස නඩත්තු නොවීම පිළිබඳ ජනතාවගෙන් ලැබී ඇති චෝදනා පිළිබඳ මෙහිදී නිළධාරින් දැනුවත් කළ ජනාධිපතිතුමා එම අලූත්වැඩියා කටයුතු කඩිනමින් සිදු කිරීමට ද උපදෙස් දුන්නේය.

අවිධිමත් ලෙස කුණු බැහැර කිරීම් වැටලීම් විධිමත් කිරීමට ද මෙහිදී පරිසර පොලිස් ඒකකය වෙත උපදෙස් දුන් ජනාධිපතිතුමා අවිධිමත් ලෙස කසළ බැහැර කරන ආයතන මාධ්‍ය මගින් පෙන්වා දීමේ වැදගත්කම පිළිබඳව ද අවධානය යොමු කළේය.

කසළ නිසි ලෙස බැහැර කිරීම පිළිබඳව මහල් නිවාස, වතු නිවාස සහ අඩුකුලී නිවාසවල ජීවත්වන ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල ඇවිදීමේ මංතීරු නඩත්තුව සහ ඒවායේ සිදුකළ යුතු අලූත්වැඩියා කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

කසළ කළමණාකරණයේදී පළාත් පාලන ආයතන මුහුණ දී ඇති ගැටලූ පිළිබඳවද කරුණු ඉදිරිපත් කෙරුණු අතර කසළ එක් රැස් කිරීමේ රථ ප්‍රමාණවත් නොවීම සහ සේවක හිඟය පිළිබඳව ද එහිදී අවධානය යොමුකෙරිණි.

මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, පලාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, ජනාධිපති ලේකම් පී.බී අබේකෝන්, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා යන මහත්වරුන් ද පළාත් පාලන ආයතන නියෝජිතයින් සහ රාජ්‍ය නිළධාරින් සාකච්ඡාවට එක්ව සිටියහ.

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය