06

ජනතාවගේ දුගී බව තුරන් කිරීම ප‍්‍රමුඛ අරමුණ කර ගනිමින් නව වසරේ සංවර්ධන සැලසුම් සකස් කරන ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා නිලධාරින්ට උපදෙස් දෙයි.

මත්ද්‍රව්‍ය වැනි සමාජයට අහිතකර සියලූ බලවේගයන් මර්ධනය පිළිබඳව ද විශේෂ අවධානයකින් කටයුතු කළ යුතු අතර, ඒ වෙනුවන් කි‍්‍රයාත්මක විශේෂ වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා අවධාරණය කළේ ය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ අද (01) පෙරවරුවේ පොළොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ පැවති “පිබිදෙමු පොළොන්නරුව” දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහනේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමිනි.

“පිබිදෙමු පොළොන්නරුව” දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහනේ 2018 වසරේ ප‍්‍රගතිය සහ 2019 වසරේ සැලසුම් පිළිබඳ මෙහි දී සමාලෝචනයට ලක් කෙරිණි. වසර ගණනාවක් පුරා සංවර්ධනය අතපසු වූ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ සංවර්ධනය වෙනුවෙන් 2018 වසරේ රුපියල් මිලියන 9615 ක මුදලක් වැය කර තිබෙන බවත්, එහි මූල්‍ය ප‍්‍රගතිය සියයට සියයක් බවත් දිස්ති‍්‍රක් ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේ ය.

දිළිඳුකම තුරන් කිරීම සහ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් දිස්ති‍්‍රක්කය තුළ කි‍්‍රයාත්මක වැඩසටහන්වල ප‍්‍රගතිය මෙහිදී විමසා බැලූණු අතර, රාජ්‍ය ආයතනවල පවතින මානව සම්පත් හිඟයට විසඳුම් ලබාදීම පිළිබඳව ද අවධානය යොමු විය. නව බස් නැවතුම්පොළේ ඉදිකිරීම්, කසළ කළමනාකරණ වැඩසටහන් ඇතුළු පොළොන්නරුව නගර සංවර්ධන කටයුතු පිළිබඳව ද සාකච්ඡාවට බැඳුන් විය.

පවතින කාලගුණික තත්ත්වය සමග කෘෂිකාර්මික කටයුතුවල නව පිබිඳීමක් ඇති වී තිබෙන අතර දිස්ති‍්‍රක්කයේ කෘෂිකාර්මික සංවර්ධනය වෙනුවෙන් “පිබිදෙමු පොළොන්නරුව” වැඩසටහන යටතේ විශේෂ වැඩසටහන් කි‍්‍රයාවට නැංවීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ ය.

රැක් රෝපණ වැඩසටහනේ ප‍්‍රගතිය පිළිබඳව ද සාකච්ඡාවට ලක් වූ අතර පළාත් අධ්‍යාපන කාර්යාලය හා දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය ඒකාබද්ධ ව පාසල් දරුවන් වෙත පැළ බෙදාදීමේ වැඩසටහනක් කි‍්‍රයාවට නැංවීමට ද ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය.

පොළොන්නරුව පොත්ගුල් වෙහෙර අභියස වෙළඳාමේ නියුතු වෙළෙඳුන් 08 දෙනෙකු වෙනුවෙන් වෙළෙඳ කුටි ලබාදිම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

පොළොන්නරුව දිස්ති‍්‍රක් ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරිහු මීට එක්ව සිටියහ.

මේ අතර පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ 2019 වසරට අදාළ නව සංවර්ධන යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ පොළොන්නරුව චන්ද්‍ර මණ්ඩපයේ දී පැවැත්විණි. දේශපාලන පක්ෂ භේදයකින් තොරව සියලූ මන්ත‍්‍රීවරුන් මේ සඳහා කැඳවා තිබිණි.

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරුණු අතර නව සංවර්ධන යෝජනා ජනවාරි 10 වනදාට පෙර පොළොන්නරුව තම කාර්යාලයට භාර දෙන ලෙස ජනාධිපතිතුමා සියලූ පළාත් පාලන නියෝජිතයන්ට උපදෙස් දුන්නේ ය. එම ව්‍යාපෘති අතරින් ප‍්‍රමුඛත්වයක් ලබා දිය යුතු ව්‍යාපෘති කවරේ ද යන්න සාකච්ඡා කොට ඒවා කඩිනමින් ක‍්‍රියාවට නැංවීමට පියවර ගන්නා බව ද ජනාධිපතිතුමා කියා සිටියේය. ජනතාවට අත්‍යාවශ්‍ය වූ එම සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාවට නැංවීම වෙනුවෙන් පක්ෂ පාට භේදයකින් තොරව සහයෝගය ලබා දෙන ලෙස ද ජනාධිපතිතුමා සියලූ දෙනාගෙන් ඉල්ලා සිටියේය.

01

02

03

04

05

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය