03

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ද්විපාර්ශ්වික සබඳතාවල සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතාගේ ආරාධනය පරිදි ඔස්ට්‍රේලියාවේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (24) කැන්බරා නුවර පැවති වැඩසටහන් රැසකට එක් විය.

පළමුව කැන්බරා නුවර පිහිටි විද්‍යා හා නවෝත්පාදන රුක් රෝපණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූ ජනාධිපතිතුමා සිය සංචාරය සනිටුහන් කරමින් එහි මහෝගනී පැළයක් ද රෝපණය කරනු ලැබීය.

උද්‍යානය වෙත පැමිණි ජනාධිපතිතුමා පිළිගනු ලැබුවේ එම ප්‍රාන්තයේ නීතිපති Gordon Ramsay සහ උද්‍යානයේ අධ්‍යක්ෂ Scote Saddler යන මහත්වරුන් විසිනි.

ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යවරයා ලෙස මෙම ජාතික වනෝද්‍යානයට ජනාධිපතිතුමාගේ පැමිණීම ගෞරවයක් බව එහි අධ්‍යක්ෂවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ වන ඝනත්වය ඉදිරි වසර කිහිපය තුළ ඉහළ නැංවීම පරිසර අමාත්‍යවරයා ලෙස තම වැඩපිළිවෙළ බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා ඔස්ට්‍රේලියාවේ අත්දැකීම් හා අධ්‍යයනයන් ඉතා වැදගත්වනු ඇති බව ද කියා සිටියේය.

ඉන් අනතුරුව ඔස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ පොදු රාජ්‍ය මණ්ඩලයේ සහයෝගයෙන් ස්ථාපිත කර ඇති ආහාර ද්‍රව්‍ය පර්යේෂණාගාරය නැරඹීමට ද ජනාධිපතිතුමා එක් විය.

ආහාර නිෂ්පාදන වර්ධනය සදහා ඔස්ට්‍රේලියාව දියුණු කර ඇති නව ක්‍රමවේදයන් සහ නවෝත්පාදනවලින් ශ්‍රී ලංකාවට ප්‍රයෝජන රැසක් අත්වනු ඇති බව ජනාධිපතිතුමා එහිදී සඳහන් කළේය.

ජනාධිපතිතුමා සමග මෙම සංචාරයට සංචාරක හා ක්‍රිස්තියානු කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් ද එක්ව සිටී.

01 02 04 05

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය