Maithripala Sirisena - 01

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ පාසල් කිහිපයක සිදු කෙරුණු සංවර්ධන කටයුතු අද (05) පෙරවරුවේ සිසු අයිතියට පවරා දෙමිනි.

“මෛතී‍්‍ර පාලනයක් – තිරසර යුගයක්” පිබිදෙමු පොළොන්නරුව 2016-2020 ජනපති වැඩසටහන යටතේ පාසල් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් දිස්ති‍්‍රක්කයේ පාසල් කිහිපයක නව ගොඩනැගිලි ඉදිකිරීම් ඇතුළු සංවර්ධන පහසුකම් සිසු අයිතියට පවරාදීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

මෙහිදී දරුවන් ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ රටේ ජනතාව උගතුන් වූ විට අනෙකුත් ගැටලූවලට ද විසඳුම් ලැබෙන බවයි. නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යන විට දරුවන් රටට ආදරය කරන යහපත් පුරවැසියන් ලෙස ගොඩනැඟීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

පොළොන්නරුව කවුඩුල්ල මහා විද්‍යාලයේ ඉදිකෙරුණු දෙමහල් පංතිකාමර ගොඩනැඟිල්ල අද (05) පෙරවරුවේ පළමු ව ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.

විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් පිළිගත් අතර සමරු ඵලකය නිරාවරණය කර ගොඩනැඟිල්ල විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක නිරතවෙමින් සිසු දරුවන්ගේ කි‍්‍රයාකාරකම් ද දැක බලා ගත්තේය.

මේ අතර පොළොන්නරුව ගල්අමුණ මහා විද්‍යාලයේ ඉදිකළ පන්ති කාමර 06කින් යුත් දෙමහල් ගොඩනැඟිල්ල අද පෙරවරුවේ විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

අනතුරුව මීගස්වැව කනිෂ්ඨ විද්‍යාලයේ ඉදිකෙරෙැණු තනි මහල් නව පන්ති කාමර ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට ජනාධිපතිතුමා එක් විය.

විද්‍යාලයේ අඩු පාඩු කිහිපයක් ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණු අතර ඒවා සඳහා අවශ්‍ය මුදල් කඩිනමින් ලබාදීමට ජනාධිපතිතුමා එකඟතාවය පළ කළේ ය.

මේ අතර පොළොන්නරුව අඹගස්වැව මහා විද්‍යාලයේ ඉදිකෙරුණු ශ‍්‍රවණාගාරයක් සහිත නව තෙමහල් පන්තිකාමර ගොඩනැඟිල්ල ද අද සිසු අයිතියට පැවරුණේ ජනාධිපතිතුමා අතිනි.

සිසු දරුවන්ගේ ඉල්ලීම පරිදි එම විද්‍යාලයේ සෙසු අඩු පාඩු සපුරා ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදීමට ද ජනාධිපතිතුමා කටයුතු කළේය.

එමෙන්ම විද්‍යාලය වෙත නව පරිගණක ඒකකයක් ලබාදීමට කටයුතු කරන බව ද පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ගමේ දරුවන්ට ඉහළට යාමට තිබෙන මාවත අධ්‍යාපනය වන අතර, ග‍්‍රාමිය පාසල් වෙත සියලූ සම්පත් ලබාදෙන්නේ සියලූ දරුවන්ට අධ්‍යාපනයේ නිවැරදි මාවත සකස් කර දීමට බවයි.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා සහ ප‍්‍රදේශයේ මහජන නියෝජිතයන් ද, පොළොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය