1951 සැප්තැම්බර් 02 වන දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උපත ලබා පැය කිහිපයකට පසු, සැප්තැම්බර් 03 වන දින මෛත්‍රීපාල සිරිසේනයන්ගේ උපත සිදු වීම දෛවෝපගත සිදුවීමකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මෛත්‍රීත් වෙන්කළ නොහැකි නිවුන් සහෝදරයන් බඳුය. ඒ අනුව මෛත්‍රී, උපතේදීම දේශපාලන උරුමයක් ලද අයෙකි.

පොලොන්නරුව ලක්ෂඋයන විදුහලේ සාමාන්‍ය පෙළ හදාරමින් සිටියදී 16 වන වියේදී කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලේ “කම්කරුවා ” පුවත්පත පරිශීලනය කිරීමෙන් දේශපාලන හැඟීම් පුබුදුවා ගැනීමට කටයුතු කළේය. පාසල් සිසුවෙකු ව සිටියදීම සක්‍රීයව කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන කටයුතු වලට සම්බන්ධ වීම කැපී පෙනෙන සිදුවීමකි. වාමාංශික දේෂපාලනයෙන් තම දේශපාලන පන්නරය ලැබූ ඔහු 1967 අගෝස්තු මාසයේදී පොලොන්නරුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ ලේකම් වරයා හැටියට දේශපාලනයට අවතීරණය වීමේ අත්පොත් තැබීම විශේෂ සිදුවීමකි.

පාසල් සිසුවෙකු ලෙස සක්‍රීයව දේශපාලනයට සම්බන්ධ වීම සහ වාමාංශික දේශපාලනික අදහස් දරණ පුද්ගලයෙකු වීම හේතුකොට ගෙන 1971 කැරුල්ලට කිසිඳු සම්බන්ධයක් නොමැතිවූවද මෛත්‍රීට හිරබත් කන්නට සිදුවිය.

1970 දී බලයට පත් වූ සමඟි පෙරමුණු රජයේ පොලොන්නරුව ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලීලාරත්න විජේසිංහ මහතාගේ දේශපාලන කටයුතු වලට ඉතාම කිට්ටුවෙන් සම්බන්ධ වී දේශපාලන ප්‍රවාහයට එක්විය. මෙහි දී මෛත්‍රීගේ ප්‍රධාන අරමුණ වූයේ කෘෂිකර්මයට අදාළව තරුණයන්ට ඇති වී තිබූ ගැටළු වලට විසඳුම් සෙවීමය. පොලොන්නරුව ගොවි පවුලක පුතෙකු හැටියට තරුණ වියේදීම කෘෂිකර්මය පිළිබඳව ප්‍රමුඛ අවධානයක් යොමු කළා වගේම පසු කලෙක ඔහු කෘෂිකර්ම අමාත්‍යවරයෙකු ලෙස සිය ප්‍රියතම හා ප්‍රමුඛම විෂය ලෙස රටේ කෘෂිකර්මය දියුණු කිරීමට කටයුතු කළේය.

1977 දී සමගි පෙරමුණු රජය පරාජයට පත්වීමත් සමඟ ඔහුට අත්විදින්නට වූ අමිහිරි කටුක අත්දැකීම් වලින් පසුව පූර්ණ කාලීනව දේශපාලනයේ නිරත වීම සඳහා රජයේ රැකියාවෙන් ඉල්ලා අස්විය.

පූර්ණ කාලීනව දේශපාලනයේ නිරත වෙමින් 1978 දී කියුබාවේ පැවැති ලෝක තරුණ සම්මේලනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයෙකු ලෙස සහභාගී විය.

1979 දී හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය නැති කිරීමට විරුද්ධව පොලොන්නරුවේදී විරෝධතා රැලියක් පැවැත්වීම හේතුකොට ගෙන නැවත වතාවත් හිරබත් කන්නට සිදුවිය.

එක්සත් ජාතික පක්ෂය ප්‍රබල රජයක් පිහිටුවා ඇති අවස්ථාවක සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් නැවත බලයට පත්වේ යැයි පේනතෙක් මානයක නැති කාලයක සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරී දේශපාලනයක් ගැන සිතන්නටවත් බැරි අවස්ථාවක රැකියාවක්ද නොමැතිව සිටියදීම 1979 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් බල මණ්ඩලය තුළින් පොලොන්නරුව දිස්ත්‍රික් බලමණ්ඩලයේ ලේකම් වරයා වශයෙන් දේශපාලන කටයුතු වලට පූර්ණකාලීනව මැදිහත් විය.

දේශපාලනය කිරීමට තරම් ප්‍රබල ආර්ථික තත්වයක් නොතිබුණත් ඒ සඳහා මෛත්‍රීගේ තිබූ කැපවීම අගය කරමින් 1980 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව ආසනයේ ප්‍රධාන සංවිධායක වරයා ලෙස මෛත්‍රී පත් කරන්නට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය කටයුතු කිරීම මෛත්‍රීගේ දේශපාලන දිවියේ සුවිශේෂී ජයග්‍රහණයකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තරුණයන්ට වැඩි අවස්ථාවක් ලබා දීම සඳහා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය විසින් කටයුතු කිරීම නිසා තරුණ කටයුතු වලින් ඉදිරියෙන් සිටි මෛත්‍රීව සමස්ථ ලංකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධානයේ භාණ්ඩාගාරික ධූරයෙන් පිදුම් ලැබීය. එම තනතුර හේතු කොට ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වයද ඔහුට හිමි විය. මෙයද මෛත්‍රීගේ දේශපාලන දිවියේ තවත් සංධිස්ථානයක් විය.

ප්‍රජා අයිතිය අහිමිව සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මින්නේරිය අතුරු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු වලට උපක්‍රමශීලීව සම්බන්ධ කිරීමට මෛත්‍රී කටයුතු කිරීම කාගේත් ප්‍රශංසාවට ලක්විය.

1985 දී කැකිරාව හා මුල්කිරිගල අතුරු මැතිවරණ වලට ජීවිත තර්ජන නොතකා සක්‍රීයව දායක විය.

රට පුරා තිබූ භීෂණ වටපිටාව මධ්‍යයේ 1989 පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රථම වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වී මෛත්‍රී පාර්ලිමේන්තුවට තේරී පත්විය. මෙම මැතිවරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණෙන් ඉදිරිපත් වූ අවසාන මැතිවරණයද විය.

1989 සිට 1994 දක්වා එක්සත් ජාතික පක්ෂ රජයේ විපක්ෂයේ මන්ත්‍රී වරයෙක් ලෙස ඉතාමත් ක්‍රියාකාරීව දේශපාලනයට සම්බන්ධ විය. පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස ප්‍රබලව සහ සක්‍රීයව දායක වීම හේතුකොට ගෙන වරක් ඔහු පොලීසියෙන් ඔසවා ගෙන ගොස් පාර්ලිමේන්තුවෙන් එළියට දමන ලදී.

1994 දී මනාප ඡන්ද ක්‍රමය යටතේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ඡන්ද ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වීමෙන් පසුව වාර්මාර්ග නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් පුදනු ලැබීය.

1997 දී මහවැලි සංවර්ධන, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යධූරයෙන් පිදුම් ලැබීය. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපලේකම් තනතුරට පත්වීමට වරම් ලැබීය.

එසේම වසර 2000 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපසභාපති ලෙස පත් කරනු ලැබීය.

2001 දී පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදීත් මෛත්‍රී නැවත වතාවක් පාර්ලිමේන්තුවට තේරීපත් වූ අතර ඔහු දැනටත් දරණු ලබන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් ධූරයටද පත්කරනු ලැබීය.

2004 දී පක්ෂයේ මහලේකම් වරයා ලෙස ජනතා විමුක්ති පෙරමුණ සමඟ ඵෙතිහාසික අවබෝධතා ගිවිසුම අත්සන් කර ඉදිරියේදී පරිවාස ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එකඟතාවයක් ඇති කරගන්න ලදී. ඒ අනුව 2004 දී පැවති මැතිවරණයේ විශාල ජයග්‍රහණයක් සභාග රජයට හිමිවිය. එහිදී , පරිවාස ආණ්ඩුවේ අගමැති ධූරය සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් මෛත්‍රීගේ නමද නිර්දේශ කර තිබියදී මෛත්‍රී තරයේම කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත්කළ යුතු බවය. එම රජයේ මහවැලි, ගංගාධාර සහ රජරට සංවර්ධන කැබිනට් අමාත්‍ය ධූරය මෛත්‍රීට හිමිවිය. එසේම එම පාර්ලිමේන්තුවේ භාරදූර වගකීමක් වන සභානායක තනතුරද ඔහුට හිමිවිය.

2005 දී ජනාධිපතිවරණයෙන් පසුව පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ වගකිව යුතු අමාත්‍යධූර දෙකක් වූ කෘෂිකර්ම වාරිමාර්ග සහ මහවැලි සංවර්ධන කැබිනට් අමාත්‍ය ධූරයත් පරිසර හා ස්වාභාවික සම්පත් කැබිනට් අමාත්‍ය ධූරයත් මෛත්‍රීට හිමිවිය.

2006 දී නැවත වතාවක් ඵෙතිහාසික අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට මෛත්‍රීට සිදුවිය. මෙම අවබෝධතා ගිවිසුම අනුව රටේ පැවැති අභ්‍යන්තර යුද්ධය නිමා කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයත් එක්සත් ජාතික පක්ෂයත් සහයෝගයෙන් කටයුතු කිරීමට එකඟ විය.

2007 කැබිනට් මණ්ඩල සංශෝධනයේදී මෛත්‍රී වඩාත් ප්‍රිය කරන කෘෂිකර්ම හා ගොවිජන සංවර්ධන කැබිනට් අමාත්‍යධූරය ඔහුට හිමිවිය. එම අමාත්‍යධූරය දරණ කාලයේදී රටේ කෘෂිකාර්මික නිෂ්පාදනය වැඩිකරලීම සඳහා “අපි වවමු – රට නගමු” යන තේමාව යටතේ පුරණ් කුඹුරු අස්වැද්දීම, සියළු ගෙවතුවල ආහාර භෝග වගා කිරීම සහ ඒ සඳහා බීජ සහ පොහොර සහන මිළට ලබාදීම ආදී පියවරවල් ගන්නා ලදී.

2007 ජනවාරි 25 වන දින මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ විශාලතම වාරිමාර්ග ව්‍යාපෘතිය වන මොරගහකන්ද බහුකාර්ය වාර්මාර්ග යෝජනා ක්‍රමටය මුල්ගල තබන ලදී. මෙම ව්‍යාපෘතිය රුපියල් බිලියන 90 ක වියදමින් කෘෂිකර්මය සඳහා ජලය ලබාදීමට අනතුරව උතුරුමැද, උතුර සහ නැගෙනහිර පළාත් වලට බීමට ජලය ලබාදීම සහ මෙඝා‍වොට් 25 ක ජල විදුලිබල නිෂ්පාදනයක් ඇති කිරීමද බලාපොරොත්තු විය.

2007 මාර්තු මාසයේ වැලිකන්දේදීද,2008 ඔක්තෝම්බර් මාසයේදී බොරලැස්ගමුවේදී ද L.T.T.E මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර 02 කට ලක් වී ඉතාමත් අසීරුවෙන් දිවි ගලවා ගැනීමට තරම් මෛත්‍රී වාසනාවන්ත විය.

සිවිල් යුද්ධය පැවති බැරූරුම් අවස්ථාවලදී 2005 වසරේ සිට පස් වතාවක් මෛත්‍රීව රාජ්‍ය ආරක්ෂක ඇමති පදවියේ වැඩ බැලීමට පත් කර ඇති අතර 2009 දී යුද්ධය අවසන් වන අවස්ථාවේදී පවා රාජ්‍ය ආරක්ෂක පදවියේ වැඩ බැලීමට තරම් වැදගත් විශ්වාසදායී අමාත්‍යවරයෙකු විය.

2010 දී පැවැති කැබිනට් අමාත්‍ය සංශෝධනයේදී වැදගත් අමාත්‍යාංශයක් වන සෞඛ්‍ය අමාත්‍යධූරයට පත් කරන ලදී. සෞඛ්‍ය අමාත්‍යධූරය දරණ අවස්ථාවේදී ඵෙතිහාසික වශයෙන් වැදගත් වන තීරණ රැසක් ගන්නා ලදී.

 

  • ප්‍රසිද්ධ සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට අදාළ පනත සකස් කර කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත.

 

  • මුළු සමාජයටම මහත් ව්‍යසනයක් වී ඇති දුම්බීම තුරන් කරලීම සඳහා සිගරැට් පැකට්ටු වල රූපමය අවවාද ප්‍රචාරය කිරීම. මේ සඳහා උසාවිය තුළත් උසාවියෙන් පිටතදීත් විශාල අරගලයක් සිදු කිරීමෙන් පසුව 2015 ජනවාරි සිට රූපමය අවවාද සිගරැට් පැකට්ටුවල මුද්‍රණය කිරීම සඳහා අධිකරණ විසින් තීන්දුව ලබා දී ඇත.

 

  • දේශීය ඖෂධ නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන කෙළින්ම රජයට මිළදී ගැනීම සඳහා කටයුතු කිරීම.

 

  • රජයන් අතර ඖෂධ මිළදී ගැනීම සඳහා අතරමැදියන්ගෙන් තොරව සෘජුව අනෙක් රටවල රජයන් වලින් ඖෂධ මිලදී ගැනීම සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට ආරම්භ කිරීම. මෙහි ප්‍රථම පියවර ලෙස බංගලාදේශ රජය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී.

 

සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් අන්තර්ජාතික ඇගයීමට ලක්වීම

  • ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දුම්වැටි භාවිතය දුරුකර ලීම සඳහා කරන ලද අනූපමය සේවය වෙනුවෙන් 2013 දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ සම්මානයෙන් පුදනු ලැබීය.

 

  • හාර්වඩ් විශ්වවිද්‍යාලය විසින් පිරිනමනු ලැබූ 2013 කළමනාකරන විශිෂ්ඨතා ඇගයීම් සම්මානයෙන් පිදුම් ලැබීය.