Maithripala Sirisena - 01

මතින් නිදහස් රටක් ගොඩනැඟීමේ අරමුණ පෙරදැරිව මත්ද්‍රව්‍ය විරෝධි ජාත්‍යන්තර දිනයට සමගාමීව ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් ක්‍රියාත්මක ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ සිව් වන දිනය වන අද දින ආරක්ෂක අංශවල දායකත්වයෙන් දීප ව්‍යාප්තව විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබිණි.

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ කාල රාමු ප්‍රකාශයට පත් කිරීමේ නැගෙනහිර පළාත් වැඩසටහන අද (27) පෙරවරුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ශාන් විජයලාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි.

මත්ද්‍රව්‍ය භාවිතයෙන් පවුල් සංස්ථාව තුල මතුව ඇති ගැටලු හා මත්ද්‍රව්‍ය සහ දුම් වැටි භාවිතයෙන් ජනතාව මුදවා ගැනීමට කළහැකි කාර්යයන් සම්බන්ධයෙන් පොලිසිය සහ විශේෂඥ වෛද්‍යවරුන් විසින් එහිදී දැනුවත් කිරීමේ දේශන පැවැත්වීය.

පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන් රාජ්‍ය නිලධාරින් මෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඉන් මිදී පුනරුත්ථාපනය වූ පුද්ගලයන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මත් උවදුරෙන් මතු පරපුර බේරාගැනීම සඳහා ඉතිහාසයේ කිසිඳු රාජ්‍ය නායකයෙකු ක්‍රියාත්මක නොකළ ජාතික වැඩසටහනක් වත්මන් ජනාධිපතිතුමා විසින් ක්‍රියාවට නංවා තිබීම මෙහිදී නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ පැසසුමට ලක් විය.

මේ අතර “මම මතින් නිදහස්” පලදනා නිලධාරින් වෙත ලබා දීම හා නිලධාරින් වෙත “යහපත් හැසිරීමේ” ලාංඡන සහ ප්‍රසංසා ලිපි නිකුත් කිරීම මෙන්ම ත්‍රිවිධ හුමදා නිලධාරින් විසින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටන් ද දීප ව්‍යාප්තව සංවිධානය කර තිබිණි.

මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටීම පිළිබඳ විශේෂ විද්වත් දේශනයක් ද නාරාහේන්පිට ශ්‍රී ලංකා යුද හමුදා රෝහල් ශ්‍රවණාගාරයේ දී අද පෙරවරුවේ පැවැත්වුණේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති මහාචාර්ය සමන් අබේසිංහ මහතාගේ මූලිකත්වයෙනි.

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ පස්වන දිනය වන හෙට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා වූ විශේෂ වැඩසටහන් රැසක් දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවේ.

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය