Presidential Media Unit Default Banner

මාතෘභූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ, විශිෂ්ට ශ‍්‍රී ලාංකිකයන් ජාතික සම්මානයෙන් පුදනු ලබන ,ජාතික සම්මාන උළෙල 2017, ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මාර්තු 20 වෙනිදා ප.ව 6.00 ට කොළඹ නෙළුම් පොකුණ රගහලේ දී පැවැත්වේ.මෙහිදී ජාතික සම්මානයෙන්, ජාතියේ සම්භාවනාවට පාත‍්‍ර කෙරෙනුයේ, මාතෘ භූමියේ සාඩම්බර ප්‍රෞඩත්වය ඔසවා තබනු පිණිස මෙන්ම දේශයේ අනභිබවනීය ගෞරවය සහ ප‍්‍රගතිය වෙනුවෙන් කැපවූ සම්භාවනීය ශී‍්‍ර ලාංකිකයින්ය. වසර 12 කට පසු මෙවර පැවැත්වෙන මෙම ජාතික සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් විශිෂ්ට සේවයක්කර ඇති ශී‍්‍ර ලාංකික පුරවැසියන් 90 දෙනෙකුට ජනාධිපතිතුමා අතින් සම්මාන හිමිවන බව අද (16) පෙරවරුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡුාවකදී ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ප‍්‍රකාශ කළේය.

ශී‍්‍ර ලංකාභිමාන්‍ය, දේශමාන්‍ය, දේශබන්දු, විද්‍යාජෝති, ශී‍්‍ර ලංකා රංජන, කලා කීර්ති, ශී‍්‍ර ලංකා ශිඛාමණි, විද්‍යානිධි, කලාශූරි, ශී‍්‍ර ලංකා තිලක, වීර ප‍්‍රතාප යන සම්මාන මෙහිදී ජනාධිපතිතුමා අතින් ප‍්‍රදානය කිරීමට නියමිත අතර ජාතික සම්මානයෙන් පිදුම් ලබන ශී‍්‍ර ලාංකිකයින්ගේ නාම ලේඛනය ශී‍්‍ර ලංකාණ්ඩුවේ ගැසට් පත‍්‍රයේ පළකරනු ලබන බව ද ජනාධිපති ලේකම්තුමා සදහන් කළේය.
එමෙන්ම ශී‍්‍ර ලාංකිකයින් නොවන පුද්ගලයන්ට පිරිනමන ජාතික සම්මාන වන ශී‍්‍ර ලංකා රත්න හා ශී‍්‍ර ලංකා රංජන සම්මාන ද මෙහිදී ප‍්‍රදානය කෙරේ. එය විශේෂයෙන් ශී‍්‍ර ලංකාව සහ පොදුවේ මානව වර්ගයා උදෙසා කරන ලද උත්කෘෂ්ට සහ විශිෂ්ට සේවය ස`දහා ප‍්‍රදානය කරනු ලැබේ.

1986 ජාතික සම්මාන පනත අනුව පිරිනැමෙන මෙම සම්මාන සදහා සුදුස්සන් තෝරාගනු ලබන්නේ ඒ ඒ පුද්ගලයින් විසින් හා මහජන සංවිධාන මගින් එවනු ලබන නාම යෝජනා විද්වත් විනිශ්චය මණ්ඩලයක් විසින් පරික්ෂාවට භාජනය කිරීමෙන් පසුවය. මෙවර මෙම සම්මාන සදහා අයදුම් පත් 426 ක් ලැබී තිබූ අතර ඉන් 90 දෙනෙකු තෝරාගනු ලැබූ බවද ජනාධිපති ලේකම්තුමා වැඩිදුරටත් ස`දහන් කළේය.

විවිධ සංවිධාන සහ පුද්ගලයන් විසින් මීට සමාන නම් වලින් විවිධ සම්මාන ප‍්‍රදානය කරන නමුත් ඒවාට කිසිදු නිල පිළිගැනීමක් නැති බවත්, නිල වශයෙන් පිළිගැනෙන්නේ ජනාධිපතිවරයා අතින් පිරිනැමෙන ජාතික සම්මාන පමණක් බවත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝහන කීර්ති දිසානායක මහතා මෙහිදී ප‍්‍රකාශ කළේය. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ඩබ්ලිව්. එම්. කරුණාරත්න, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ යන මහත්වරුන් ද මෙම මාධ්‍ය සාකච්ජාවට එක්ව සිටියහ.

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය