1 (19)

රුසියානු ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් මහතාගේ විශේෂ නිල ආරාධනය පරිදි රුසියාවේ තෙදින නිල සංචාරය ආරම්භ කළ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද පස්වරුවේ මොස්කව් නගරයේ ඩොමොඩෙඩුවා (Domodedovo) ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය. රුසියානු රජය වෙනුවෙන් එරට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය Igor Morgulov මහතා ඇතුළු ඉහළ පෙළේ නිලධාරින් පිරිසක් විසින් ජනාධිපතිතුමා ඇතුළු ශී‍්‍ර ලාංකික දුත පිරිස ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ රුසියානු නිල සංචාරයේ වැදගත්ම අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපතිතුමා සහ රුසියානු ජනාධිපති ව්ලැඞ්මිර් පුටින් මහතා අතර නිල හමුව හෙට දහවල් මොස්කව් නගරයේ ක්‍රෙම්ලින් මන්දිරයේදී පැවැත්වෙයි.වසර 43 කට පසුව ශී‍්‍ර ලාංකීය රාජ්‍ය නායකයෙකුට රුසියාවේ නිල සංචාරයක් සදහා ආරාධනා ලැබුණු පළමු අවස්ථාව මෙය වීම සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මහතා විසින්ම ජනාධිපතිතුමා වෙත මෙම ආරාධනාව සිදු කිරීම විශේෂත්වයක් වන අතර ශී‍්‍ර ලංකා ජනාධිපතිතුමා වෙනුවෙන් එරට රජයේ ඉහළම ගෞරවය පිළිගන්වමින් එතුමා පිළිගැනීමට සියලූ කටයුතු සූදානම් කර තිබේ.

රාජ්‍ය නායක දෙපළ අතර නිල හමුවෙන් අනතුරුව දෙරට අතර ආර්ථික, වෙළද මෙන්ම දේශපාලන හා සංස්කෘතික සබදතා සවිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිතය.ශී‍්‍ර ලංකාව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ති‍්‍රක සබදතා ආරම්භ කර වසර 60 ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයකට ද හෙට පස්වරුවේ ජනාධිපතිතුමා එක් වෙයි.

දෙරට අතර වෙළෙද හා ව්‍යාපාරික සබදතා ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශී‍්‍ර ලංකා රුසියා ව්‍යාපාරික සංසදය විසින් සංවිධානය කරන ව්‍යාපාරික හමුවකට ද ජනාධිපතිතුමා මෙම සංචාරයේදී එක්වන අතර රුසියාවේ අධ්‍යාපනය ලබන ශී‍්‍ර ලාංකික සිසුන් සමග ද හමුවකට එක්වීමට නියමිතය.

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය