AME

ජනපති ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරියට පවසයි.

ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රි ලංකාව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රාජ්‍යයන් බැවින් සහශ්‍රක අභියෝගතා සංස්ථා ගිවිසුම සම්බන්ධ ඉදිරි කටයුතුවලදී දෙරටේම ජනතා අභිලාෂයන් සැලකිල්ලට ගතයුතු බව ජනාධිපතිතුමා පවසයි.

අදාළ යෝජනාවලිය මේ වන විට විද්වත් මඩුල්ලක් විසින් අධ්‍යයනය කරමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (14) පස්වරුවේ දකුණ හා මධ්‍යම ආසියානු කටයුතු භාර ඇමරිකානු නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වේල්ස් මහත්මිය සමග පැවති සාකච්ඡාවේ දී සඳහන් කළේය.

සහශ්‍රක අභියෝගතා සංස්ථා ගිවිසුම සෙසු රටවල ක්‍රියාත්මක කළ ආකාරය සහ අත්දැකීම් පිළිබඳ විද්වත් මණ්ඩලයේ විශේෂ අවධානයට ලක්ව ඇති බව ද ජනාධිපතිතුමා පැවසීය.

වේගවත් ආර්ථික වර්ධනයක් සමගින් දුගී බව තුරන් කෙරුණු රාජ්‍යයක් ගොඩනැගීම තම රජයේ ප්‍රමුඛ අරමුණයි. විදෙස් ආයෝජන අවස්ථා දිරි ගැන්වීමට සරල බදු ක්‍රමයක් සහ අවශ්‍ය පහසුකම් සැපයෙන ව්‍යාපාරික පසුබිමක්රට තුළ සකසා ඇති බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

අධ්‍යාපන, කෘෂිකර්ම, සංචාරක සහ තාක්ෂණය පදනම් කරගත් කර්මාන්ත සංවර්ධනය කිරීම ඉලක්ක කරගත් ප්‍රධාන ක්ෂේත්‍ර අතරින් කිහිපයකි. මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය මෙරට ඇගළුම් කර්මාන්තයේ ප්‍රධානතම ගැණුම්කරු වේ. එමෙන්ම ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණය පාදක කරගත් ක්ෂේත්‍ර සංවර්ධනයට ද සූදානම්ව සිටින හෙයින් තාක්ෂණය මූලික කරගත් කර්මාන්තවල ආයෝජනය සදහා තමා ඇමරිකා එක්සත් ජනපදයට ඇරයුම් කරන බවද ජනාධිපතිතුමා සහකාර රාජ්‍ය ලේකම්වරිය සමග පැවසීය.

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය