Presidential Media Unit Default Banner

2015 ජනවාරි 08 වනදා ජනාධිපතිවරණය, එම අභියෝගාත්මක මැතිවරණ ව්‍යාපාරය තුළ ලැබු විශිෂ්ට ජයග‍්‍රහණය තුළ රටේ ජනතාව බලාපොරොත්තු වූ ඔවුන්ගේ අරමුණු හා ප‍්‍රාර්ථනාවන් සහ සිතුම් පැතුම් රාශියක් තිබුණා.

වසර හතරකට ආසන්න කාලයක් ඉක්ම යමින් තිබෙන මේ අවස්ථාවේ ප‍්‍රධාන වශයෙන්ම පසුගිය කාලය තුළ අපි රජයක් විදියට ලබාගත් ජයග‍්‍රහණ හා කරපු හොද වැඩ කොටස් රාශියක් තිබෙනවා වගේම ඉතාමත් අවැඩදායක වූ, අසුභ වූත් අවිචාර වූත් සිදුවීම් රාශියක් සිද්ධ වුණා. මෙතනදී මූලික වශයෙන්ම ඒ ප‍්‍රාර්ථනාවන් ඉෂ්ට කිරීම පිළිබදව අපි සතුටුවෙනවා වගේම, රටේ ජනතාව සමග අපිට එකතු වෙන්න වෙනවා අපි බලාපොරොත්තු වූ තැනට රට අපට ගෙනියන්න නොලැබීම පිලිබඳව. ඒ තත්ත්වය ඉදිරියට මම දන්නේ නැහැ කොතෙක් දුරට සාර්ථකව ඉෂ්ට කර ගන්න පුළුවන් වෙයි ද කියලා.

2015 ජයග‍්‍රහණයෙන් පස්සේ අමාත්‍ය මණ්ඩලය තෝරන අවස්ථාවේ ඉදලම මම ඔබට ප‍්‍රකාශ කර ඇති පරිදි අපේ මැතිවරණ ප‍්‍රකාශයේ ප‍්‍රතිඥාවන් කඩවුණා. විද්‍යාත්මක පදනමෙන් අමාත්‍යාංශ වෙන්කළයුතුයි කියලා මැතිවරණ ප‍්‍රකාශයේ තිබුණා. විශේෂඥ කණ්ඩායමක් පත්කරලා ඒ කටයුතු කරගෙන ගිහින් තිබුණා. නමුත් ඒ ලිපි ගොනුවවත් බැලූව ද කියලා මම දන්නේ නැහැ.

එදා මෙදා කාලය තුළ සිදුවූ සිදුවීම්වල දී ප‍්‍රධාන වශයෙන්ම අපි බලාපොරොත්තු නොවූ ඉතාමත් අයහපත් තත්ත්වයන් රාශියකුත් ගොඩනැගුණා. යහපත් දේවල් ගත්තහම රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම, ජනතාවගේ නිදහස, 19 වන සංශෝධනය, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම, 19 වන සංශෝධනය මම දකින්නේ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම තුළ ඇති වූ ප‍්‍රගතියක් විදියට විතරයි. අනිත් පැත්ත මම අද දකින්නේ විශාල දේශපාලන ආරවුලක් විදියටයි. ඒ වගේම 19 වන සංශෝධනයෙන් ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමේදී වගේම රටේ අනිත් තනතුරුවලට පත් කිරීමේ දී ව්‍යවස්ථාසභාව කොතෙක් දුරට අපක්ෂපාතී වුණා ද, සාධාරණ වුණා ද කියන කාරණය මට නම් ප‍්‍රශ්නයක්. අද අග‍්‍රවිනිශ්චයකාරයගේ ඉදලා, නීතිපති, පොලිස්පති ස්වාධීන කොමිෂන් සභා මේ සියල්ල පත් කරන්නේ ව්‍යවස්ථාදායක සභාව. මම දැක්ක ප‍්‍රධානම දේ තමයි ව්‍යවස්දායක සභාව තුළ අධිකරණයට පත්කිරීම් කිරිමේ දී අධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරුන්ගේ නම් ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කළහම ඒවා ප‍්‍රතික්ෂේප වුණා.

අධිකරණ ක්ෂේත‍්‍රයේ විනිශ්චයකාරවරු පිරිසක් අතරේ මට චෝදනාවක් තිබෙනවා ජ්‍යෙෂ්ඨත්වය අනුව ඒ අයට මම පත්වීම් ලබා දෙන්නේ නැහැ කියලා. මම පැහැදිළිව කියන්න ඕන ඒ චෝදනාවට ලක්වී තිබෙන සෑම නමක්ම මම ව්‍යවස්ථා සභාවට යවලා තිබෙනවා. ව්‍යවස්ථා සභාව ඒවා ප‍්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ තුළ අධිකරණයේ ක්ෂේත‍්‍රයේ ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාර ධූර දරන අයට අසාධාරණයක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා විනිශ්චයකාරවරු පත් කිරීමේ දී ව්‍යවස්ථා සභාව අනුගමනය කරන කි‍්‍රයා පිළිවෙත කොතෙක් දුරට අපක්ෂපාති ද, මධ්‍යස්ථ ද කියන ප‍්‍රශ්නය පැන නැගිලා තිබෙනවා. එහිදී මට ඔප්පු කරන්න කරුණු රාශියක් තිබෙනවා.

අපි මුහුණ දුන් ඉතාම කටුක අත්දැකීම් ගත්තහම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව පරාජය කරලා රටේ ජනාධිපතිවරයෙක් පළමු වතාවට පරාජය කරලා හැට දෙලක්ෂ පනස්දහසක ජනතාව මාව ජනාධිපතිවරයා ලෙස පත්කර ගත්තේ විශේෂයෙන්ම එදා ඒ ආණ්ඩුවේ තිබුණ බරපතළ වැරදි නිසා. ඒ තුළ මූලිකම දේ තමයි දූෂණය සහ වංචාව, එතකොට දූෂණයට සහ වංචාවට විරුද්ධව ජනතාව ජනතාවාදී ආණ්ඩුවක් පත්කරගත්තහම 2015 ජනවාරි 08 තමන්ගේ ඡන්දයෙන් මාස තුනක් යන්න කළින් ඇති වූ මහ බැංකු මහා මංකොල්ලය, 2015 වසරේ අවස්ථා දෙකක දී වාර්තා වූ සිද්ධින් අනුව අපි දූෂණයට විරුද්ධව ගෙනගිය සටන සම්පුර්ණයෙන් දූෂිත කළා. එය සම්පූර්ණයෙන් ජනතාවගේ ප‍්‍රාර්ථනාවන් සහ අපේක්ෂාවන් සුණු විසුණු කරලා තිබෙනවා. යහපාලන දේශපාලන සංකල්පය විනාශ කරලා තිබෙනවා.

මම අද උදේත් දුරකථනයෙන් මහබැංකු අධිපතිවරයාට කතා කරලා ඇහුවා ජනාධිපති කොමිසම් සභාව විසින් නිර්දේශ කරන ලද ප‍්‍රධාන නිර්දේශයක් වූ වෝහාරික විගණනය අද වෙනකන් කරලා තියෙනව ද කියලා. අද වෙනකන් එය කෙරිලා නැහැ. ජනාධිපති කොමිෂන් සභාව පැහැදිළිව කියනවා. මහ බැංකු මංකොල්ලයේ ජනතාවගේ මුදල්වල මූල්‍ය වටිනාකම තවම මෙතකැයි කියා සීමාවක් කිව නොහැක. මෙය අවුරුදු ගණනාවක් සිදු වී ඇත. එලෙස වාර්තාවේ සඳහන් වෙනවා. 2007, 2008 ඉදලම මෙය සිද්ධ වුණා කියලා කොමිෂන් සභා වාර්තාවේ තිබෙනවා, එතකොට ආර්ථික විශේෂඥයන් මට පහුගිය සතියෙත් මේ පිළිබඳ සාකච්ඡාවක දී කිව්වා වසර ගණනාවක් පුරා සිදුව ඇති මේ මහා මංකොල්ලය බිලියන් දාහකට එහා කියලා. අද වෙනකන් කිසිම විගණනයකින් කොමිෂන් සභා වාර්තාව අනුව සොයාගෙන නැති මුදල් කන්දරාවක්. එතකොට මේ ප‍්‍රශ්නයේ දී පැහැදිළිව ගරු රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා දන්නවා, අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති ධූරයට පත් කරන අවස්ථාවේ මම දැඩි ලෙස විරුද්ධ වුණා. නමුත් මාව ජනාධිපති විදියට පත්කරලා සතියක් වගේ කාලයක් තුළ මම කළගුණ දන්නා කෙනෙක් විදියට රනිල් වික‍්‍රමසිංහ මහතා සමග මට කිසිදු ගැටුමක් අවශ්‍ය නැති නිසා එතුමාගේ දැඩි ඉල්ලීමට මම අර්ජුන් මහේන්ද්‍රන් පත් කළා. එසේ වූ අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ කි‍්‍රයාකාරිත්වය තුළ මේ සිදුවීම් සිදුවෙලා රට තුළ මහා ගින්නක් ඇතිවුණා. විශාල උණුසුමක් ඇති වුණා. පාර්ලිමේන්තුවේ, දේශපාලන ක්ෂේත‍්‍රයේ, මාධ්‍ය තුළ ඒ ඇති වූ උණුසුම ඉතාමත් ප‍්‍රබල වුණා. ඒ ඇති වූ ත්ත්තවය තුළ මහ බැංකු කාර්ය මණ්ඩලය අකර්මණ්‍ය තත්ත්වට පත් වුණා. ඒ වෙලාවෙ මම තීරණය කළා මහ බැංකුවට යන්න. මම මහ බැංකුවට යන්න තීරණය කරපු වෙලාවේ අගමැතිතුමා මම යන බව ආරංචිවෙලා මගේ නිවසට ආවා. එදා, ඇවිල්ලා මෙතුමා මෙගන් ඇහුවා, මහ බැංකුවට යනව ද, මම කිව්වා ඔව් මම යනවා, එතුමා කැමැත්තක් දැක්වූවේ නැහැ මම යනවට, එතුමා කිව්වා මගේ යටතේ මහ බැංකුව තියෙන්නේ කියලා, මම කිව්වා ඒක ඇත්ත නමුත් මම ජනාධිපති නිසා මට යන්න පුළුවන් නේද කියලා මම ගියා. මම ඒ යනකොට අගමැතිතුමා එක්ක අර්ජුන මහේන්ද්‍රන් මහත්තයත් එතන හිටියා. අර්ජුන මහේන්ද්‍ර මහත්තයා දුන්න බුළත් අත මම තනි අතින් අරගෙන ඔහුගේ මුහුණ නොබලා මම ඇතුළට ගියේ. එතකොට මේ සිද්ධියේ ඉතිහාසය ගත්තහම අර්ජුන් මහේන්ද්‍රන් මහතා අදත් නැහැ. ඔහු අල්ලා ගැනීම පිළිබඳව වැඩපිළිවෙළක් හරියට කි‍්‍රයාත්මක වුණේ නැහැ. මේ මංකොල්ලය පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාවට සහයෝගය දුන්නේ නැහැ. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට සහ අනිත් නිලධාරින්ට තර්ජන ආවා, ඒ අයට බලපෑම් ඇති වුණා. ඒ අයට විරුද්ධව පරික්ෂණ පැවැත්වුවා. මැති ඇමතිවරුන්ගේ දුරකථනවලට සවන් දීලා කියලා මේ පරික්ෂණ කටයුතු සඳහා වෙනම පරික්ෂණයක් ආරම්භ කළා. නමුත් අවසානයේ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කළා අගමැතිවරයාගේ සහ මැති ඇමතිවරුන්ගේ දුරකථනවලට සවන්දීමක් කෙරුවේ නැත. පර්පචුවෙල් ටෙෂරිස් සමාගමේ අද සිරභාරයේ සිටින එම සැකකරුවන්ගේ දුරකථන පරික්ෂා කළ විට, දුරකථන ඇමතුම් ලබාගත් සහ ලැබෙන්නේ කොහාටද කියා පරික්ෂාකළ විට එහිදී සොයා ගනු ලැබුවා මැති ඇමතිවරුන්ගේ දුරකථන ඇමතුම් හුවමාරු වී තිබෙන බව කියලා නිවේදනයක් නිකුත් කළා. ඒ නිසා අදත් මේ බිලියන් දාහකට වැඩියි කියන මේ වංචාවේ වැරදිකරුවන්ට දඩුවම් ලබාදීමට ගෙන ඇති පියවර පිලිබඳව මම ඉතාමත් කණගාටු වෙනවා,

මම මහින්ද රාජපක්ෂ මහත්තයා අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කළේ ඔක්තෝබර් 26 වෙනිදා. ඊට දවස් හතරකට කළින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මහබැංකු මංකොල්ලයේ වැරදිකරුවන්ට දඩුවම් පැමිණිම අවශ්‍යයි කියලා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂම නීතිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කළ අල්ලස් හා දුෂණ කොමිෂන් සභා සංශෝධන පනත, වචන කිහිපයක් සංශෝධනය කරන්න තිබුණා. පාර්ලිමේන්තුවට යවලා මාස 05 කට වැඩිය මේක කබඞ් ඇතුලේ තිබුණා. එළියට ගත්තේ නැහැ. මම මේ ගැන අවස්ථා කිහිපයක් තළතා අතුකෝරළ ඇමතිණියට කිව්වා එතුමිය අධිකරණ ඇමතිණි නිසා. කිරිඇල්ල ඇමතිතුමාට කිව්වා. කිරිඇල්ල ඇමතිතුමා කියලා බොහොම අමාරුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. නමුත් අවසානයේ පාර්ලිමේන්තුවට අරගෙන මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති විදියට දිවුරුම් දෙන්න දවස් හතරකට, පහකට කළින් පාර්ලිමේන්තුවේ විවාදයට අරගෙන දින නියමයක් නැතුව තමුන්නාන්සේලා සංශෝධනය කල් දැම්මා. දැන් ඒ කල්දැමීම තුළ ඒ පනත සංශෝධනය වෙන්නේ නැහැ. අවුරුදු 15 කට 20 කටවත් මේ බිලියන් දාහකට වැඩියි කියන මහ මංකොල්ලයේ පරික්ෂණය කෙරෙන්නේ නැහැ. වැරදිකරුවන්ට දඩුවම් ලැබෙන්නේ නැහැ. මුදල් අය කර ගැනීමට හැකි වන්නේ නැහැ. මේ ප‍්‍රශ්නය අදත් බරපතළයි.

ඒ වගේම කියන්න ඕන අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් අනුව ආරම්භ කළ සී.සී.එම් එක. ප‍්‍රශ්න රාශියක් ඇති වුණා. ඒ තුළ ගැටුම් රාශියක් ඇතිවුණා. ඇත්තටම කියනවනම් මම අගමැතිතුමාට කොච්චර කළගුණ සැළකුවා ද කියන්නේ ජනාධිපතිවරයාගේ බලතලත් අගමැතිතුමා අරගෙන කි‍්‍රයාත්මක කළා. මම ඒවා ගැන ඇහුවේ නැහැ. රාජ්‍ය නායකයන් සමග ගනුදෙනුවලදී, ජාත්‍යන්තර ගිවිසුම්වල දී ඒ ආකාරයට එතුමා කටයුතු කළා. 19 වැනි සංශෝධනයෙන් අගමැතිවරයාට හිමි නැති බලතළ රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කි‍්‍රයාත්මක කළා. මම ඒත් නිහඩව හිටියා කළගුණ දන්න මිනිහෙක් විදියට. සිංගප්පුරු ගිවිසුම පිළිබඳව මම කොමිෂන් සභාවක් පත් කළා. එහි නිර්දේශ මට පසුගිය සතියේ ලැබුණා. එම නිර්දේශවල සදහන් වෙනවා මෙම ගිවිසුමේදී වැරදි රාශියක් සිදු වෙලා තිබෙන බව. මම ඒක දීර්ඝව පැහැදිළි කරන්නේ නැහැ මේ වෙලාවේ. විශේෂයෙන් එහි එක් ෙඡ්දයක සඳහන් වෙනවා ඊට අදාළ නියෝජිත ආයතන, වෙළෙඳ, වරාය, කර්මාන්ත, මුදල් ඇතුළු අදාළ අමාත්‍යාංශ ඒ ගිවිසුම අත්සන් කිරීමට ඒ නිර්දේශ ගතයුතු ආයතන රාශියකින් ඒ නිර්දේශය ලබාගෙන නැතිකම කර තිබෙන බරපතළ වැරුද්දක් ලෙස මෙම වාර්තාවේ පෙන්වා දෙනවා. ඒ නිසා සිංගප්පුරු නිදහස් වෙළෙඳ ගිවිසුම බරපතළ ප‍්‍රශ්නයක් වෙලා තිබෙනවා. මගේ අදහස එය රජයේ මැදිහත්වීම තුළ තාවකාලිකව නැවතිය යුතුයි කියන එක. ඊට සංශෝධන කළයුතු වෙනවා. ඒ සංශෝධනවලදී මම දන්නේ නැහැ තවත් විශේෂඥයෝ යොදවලා සම්පූර්ණයෙන් මේ ගිවිසුම ඉවත් කරනව ද, සංශෝධන සහිතව කළහැකි ද කියන එක නීති විශාරදයන්ගේ සහ ආර්ථික විශේෂඥයන්ගේ උපදෙස් අනුව කළයුතු කාර්යයන් විදියටයි මම දකින්නේ. ඒ නිසා මේ තත්ත්වයන් වලදී ඉතා පැහැදිළිව සඳහන් කරන්නට ඕන මම මේ කියපු කරනු පිළිබඳ සැලකිල්ල යොමු කිරීමේදී අපි මේ අත්දැකිම් සමග ඉදිරියට වැඩකරන ක‍්‍රමය කොහොමද නිරවුල් කරගන්නේ කියන කාරණාව පිළිබඳව.

මේ පිළිබද ඇතිවූ මතභේදවල දී ව්‍යවස්ථාදායකය සහ විධායකය මේ ගනුදෙනුව බේරගත්තනම් අපිට සති 07 ක කාලයක් යන්නේ නැහැ මේ ප‍්‍රශ්නය විසදගන්න. ඒ මොකද මම සතුටු වෙනවා, මම ඔබතුමන්ලාට සියලූ දේශපාලන පක්ෂ නායකයන්ට, ගරු කථානායකතුමාට, ස්තූතිවන්ත වෙනවා මෙම ගැටලූව නිරවුල් කර ගැනීමට කැදවූ සෑම සාකච්ඡාවකදීම තමුන්නාන්සේලා සහභාගී වුණා. මේ කාර්යාලයට ආවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු ඒ කණ්ඩායම්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදු ජන පෙරමුණ ඒ හැම කෙනෙක්ම ආවා. ද්‍රවිඩ ජාතික සන්ධානය, එක්සත් ජාතික පෙරමුණේ සහෝදර පක්ෂ නායකයෝ ඒ සියලූදෙනා ඉතා විශිෂ්ට සහයෝගයක් දැක්වුවා. ඒක ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක තිබෙන සුහදකාමී වාතාවරණයක ඉතාමත් වැදගත් ලක්ෂණයක් විදියටයි මම සළකන්නේ. වේදිකාවල මහපාරේ මොනව කියාගත්තත් මනුෂ්‍යකමක් ඇතිවුණා එකට වාඩිවෙලා ඒ ප‍්‍රශ්න විසදා ගැනීමේ. නමුත් අපි අසමත් වුණා විධායකය සහ ව්‍යවස්ථාදයකය අතර ඒ ප‍්‍රශ්නය බේරගන්න. ඒ නිසා අධිකරණයට ගියා. අධිකරණයේ දී දුන්න තීන්දුවේ දී මම අහලා බැලූවා, මහජනතාව මොනවද මේ ගැන කියන්නේ, නීති විශාරදයින් මේ ගැන මොනවද කියන්නේ, මම කියන්න ඕන තව කාරණයක් මේ ගැසට් නිවේදන සම්බන්ධයෙන් ඇතැම් අය කරන විග‍්‍රහ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, වාර අවසන් කිරීම, අගමැති පත් කිරීම, ඉවත් කිරීම මේවා පිළිබඳව මට කරන විවේචනවල දී ඉතාම ළදරු ස්වභාවයේ විවේචන තමයි කරන්නේ. ඒ මොකද මම නීතිඥයෙක් නොවන බව රටම දන්නවා. මම ඒ ගැසට් නිවේදනය නිකුත් කළේ මගේ තනි කැමැත්තට නෙවේ. මීට සම්බන්ධවූණා ජනාධිපති නිතිඥවරු, මීට සම්බන්ධ වුණා රටේ ඉහළම නිති විශාරදයින්. ඒ අය සාකච්ඡුා කරලා තමයි ඔය ගැසට් නිවේදන සියල්ල සකස් කළේ. එහෙම නැතිව මේක මේ ළදරුවෝ කරපු වැඩක් නෙවේ, මෙහිදී හොදම උදාහරණය තමයි අධිකරණයේ මේ නඩු විභාගවන අවස්ථාවේ මාගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන්, මම ඒ අයට ස්තූතිවන්ත වෙනවා. ඒ අය මේ රටේ ඉහළම පෙළේ නීති විශාරදයින්. මම ගැසට් නිවේදන නිකුත් කිරීමේ දී ඔය කියන විදියට ළදරු වැඩක් කරලා තිබුණනම්, බාල වැඩක් කරලා තිබුණානම් ඔය ගැසට් ආරක්ෂා කරන්න අධිකරණයට ඔය මගේ පැත්තෙන් පෙනී සිටි එම නීති විශාරදයින් ඉදිරිපත් වන්නේ නැහැ.

විශේෂයෙන්ම පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් ඔබතුමන්ලා සටන් ව්‍යාපාරය ගෙන ගියේ ඡන්දයක් එපා කියලා, උසාවි ගියේ ඡුන්දයක් එපා කියලා. නමුත් මේ අර්බුදයේදී මේ දූෂිත වී තිබෙන පාර්ලිමේන්තුව විසුරුවලා අලූත් පිරිසිදු පාර්ලිමේන්තුවක් තෝරා පත් කරගන්න ජනතාවට අවශ්‍යයි කියලා ජනමතයක් ඇතිවුණා. ඒක එක්සත් ජාතික පාක්ෂිකයෝ තුළත් ඇතිවුණා මම දන්නවා. ඒ අයත් කිව්වා අපෙත් ඉන්නවා වැරදි කරන අය ඒ අය ගෙදර යවන්න මැතිවරණයක් තමයි ඕන කියලා.

අධිකරණ තීන්දුව තුළ ජනතාව කියන්නේ ප‍්‍රශ්නය විසදන්න හොදම මග මේ දූෂිත පාර්ලිමේන්තුව විසුරුවලා අලූත් පාර්ලිමේන්තුවක් පත් කරන්න එක. ඒක නැතුව ගියා අධිකරණ තීන්දුවෙන්. ජනතාවගේ ඡන්ද බලය නැතිවුණා අධිකරණ තින්දුවෙන් කියලා තමයි ජනතාව කියන්නේ, මම නෙවේ එහෙම කියන්නේ, මම මේ සියලූදෙනාගෙන් අදහස් විමසනවා, ආගමික පූජකවරු, විද්වතුන්ගෙන්, මාධ්‍යවේදින්ගෙන්, ජනතාවගෙන් අහනවා. එතකොට බහුතරක මතය අදත් ඡන්දයක් දුන්නනම් හොදයි කියන එක තමයි රටේ ජනතාවගේ බහුතර මතය. මන්තී‍්‍රවරු 122 ක් අත්සන් කරලා අධිකරණයට දුන්නේ ඡන්දයක් එපා කියන ඉල්ලීමයි. ඉතින් මේ තත්ත්වයන් සැලකිල්ලට ගත්තහම මම මේ කරුණු පිළිබඳව කතා කළේ අපි මේ පසුබිම් සමග අතීතයේ අත්දැකීම් සමග අනාගතය කොහොමද හදාගන්නේ කියන ප‍්‍රශ්නය තුළයි.

ඒ සමගම මම තමුන්නාන්සේලාට තව දෙයක් කියන්න ඕන. පහුගිය අවුරුදු හතරකට ආසන්න කාලය තුළ මේ දූෂණය වංචාව නැති කිරීමේ කාරණාවලදී මම කිව්වා විවිධ සමාජ බලවේගයන් රටේ තිබෙනවා, මම හැමදාම කියන දෙයක් තමයි ලෝකයේ අනෙක් රටවල් ගැන මම කියන්නේ නැහැ, අපේ රටේ දේශපාලන බලවේගවලට වඩා සංස්කෘතික බලවේග බලවත් කියන එක. ආගමික බලවේග, භාෂාව පිලිබඳ බලවේග, සිරිත් විරිත්, සම්ප‍්‍රදායන්, සංස්කෘතින් මේ පිළිබඳව අපේ රටේ තිබෙන සමාජ බලවේග ඉතා ශක්තිමත් සහ පුළුල්. බොහෝ වෙලාවට රටේ ආණ්ඩු හදන්නේ ආණ්ඩු පෙරළන්නේ දේශපාලන මතයට වඩා මේ සංස්කෘතික බලවේග. මම බොහොම පැහැදිලිව පහුගිය කාලවලදී කිව්වා භික්ෂුන් වහන්සේලාට නඩු පැවරීමේදී මේ අලි ඇතුන් පිළිබඳ ප‍්‍රශ්නයේ දී පෙරහැරවල්වලට අලි නැහැ කියලා අලි ඉන්න දේවාල විහාර විතරක් නෙවේ, ඒක පුළුල් සමාජ බෞද්ධාගමික, සංස්කෘතික විරෝධයක් දැඩි ලෙස ආවා. එතකොට මම බොහොම පැහැදිළිව කිව්වා මේ අලි ඇතුන් නිදහස් කරමු. මේකේ නිත්‍යානුකූල තත්ත්වය බලමු. එක දිගට භික්ෂුන් වහන්සේලා සිරභාරයට ගන්න මේ වැඬේ කරන්න එපා. මේ අලි ප‍්‍රශ්නයට කියලා. ඒ තුළ මුළු භික්ෂු සමාජය අපට නැතිව ගියා.

ඒ වගේම තමයි මම පැහැදිළිව කියන්න ඕන. ත‍්‍රිවිධ හමුදාව අත්අඩංගුවට ගැනීම, යුද්ධයක් කරපු රටක යුද ජයග‍්‍රහණය ලබාදීලා ම්ලේච්ඡ ත‍්‍රස්තවාදී ව්‍යාපාරයක් නැති කරපු අපේ රණිවිරුවෝ හිරේ දාන්න එපා කියන එක මම නිතරම කියපු දෙයක්. ඒත් ඇහුවේ නැහැ. අපේ හමුදාව විනයගරුක, ශිලාචාර හොද හමුදාවක් නිසා මේ සියලූදේවල් ඉවසගෙන ඉන්නවා. නමුත් අද ජාත්‍යන්තරය කියන විදියට අපේ හමුදාවන්ට දඩුවම් කරන්න ඕන, හැබැයි අපේ හමුදාව විනාශ කරපු ප‍්‍රභාකරන්ගේ මිනිස්සුන්ට දඩුවම් නැහැ, ඒ මිනිස්සු ලෝකයේ රටවල්වල ඉන්නවා. එල්.ටී.ටී.ඊ එකේ ප‍්‍රබලයෝ, විදේශ රටවල ඉන්නවා. එතකොට ඔය කියන ජාත්‍යන්තරය අපිට තමයි ඇගිල්ල දික් කරන්නේ, හමුදාවට විරුද්ධව පරීක්ෂණ පවත්වන්න කියලා. මානව හිමිකම් කැඩුවා, ජාත්‍යන්තර යුද නීති කැඩුවා කියලා අපිට තමයි චෝදනා කරන්නේ. එතකොට අපේ ති‍්‍රවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂකයින්, රටේ ජනාධිපතිවරයාගේ සිට සිවිල් ජනතාව ලක්ෂයක් විතර මැරුවා. එතකොට අද ජීවතුන් අතර ලෝකයේ රටවල්වල සැගවිලා ඉන්න මිනිස්සු, ලංකාණ්ඩුවට සැගවිලා ඉන්න අය මේ රටට ගෙනල්ලා දඩුවම් දීමේ වැඩපිළිවෙළක් කොහෙද තියෙන්නේ, ජාත්‍යන්තරයෙන් එහෙම දෙයක් කතා කරන්නෙත් නැහැ, අපේ රට ඇතුළෙන් කතා කරන්නෙත් නැහැ. හමුදාවෙ අයට දඩුවම් දෙනවනම් ඒ අයටත් දඩුවම් දෙන්න ඕන. එහෙම නැත්නම් දෙගොල්ලන්ටම දඩුවම් අයින් කරගෙන එකඟතාවකට එන්න ඕන. මෙහිදී ඉතා පැහැදිලිව මම දරණ මතය තමයි එහෙම නම් ඔක්කොටම නඩු දාන්න ඕන, එහෙමත් නැත්නම් ජාත්‍යන්තරයත් එක්ක කතා කරලා අපේ හමුදාව නිදහස් කරගන්න ඕන. දැන් එල්.ටී.ඊ යට සම්බන්ධ ද්‍රවිඩ සිරකරුවන් නිදහස් කරන්න කියන ඉල්ලීම තිබෙනවා. අපි සාකච්ඡා කිහිපයක් පැවැත්වුවා. ද්‍රවිඩ සිරකරුවන් නිදහස් කරනවනම් අපේ හමුදාවන්වලට විරුද්ධව දැන් පහුගිය අවුරුදු ගාණනක් සිදුකළ නොයෙකුත් නඩුවලින් ඒ සියලූදෙනා නිදහස් කරන්න ඕන. ඒක තමයි සාධාරණත්වය. එක පැත්තකට විතරක් නඩු අහලා ඒවා කරන්න පුළුවන් දේවල් නෙවෙයි.

ඒ වගේම මම කියන්න ඕන පහුගිය දවස්වල මේ ප‍්‍රශ්නයත් එක්ක අතිවූ කරුණු කාරණාවලදී තමුන්නාන්සේලාගේ කතිකයෝ කිව්වා මාව ගඩාෆි වගේ ඇදගෙන ගිහින් මරන්නේ කියලා, ඒ වගේම ඇතැම් මන්ති‍්‍රවරු කිව්වා, මහගම සේකර මාවතේ මගේ ගේ ගිනි තියලා, කුඩු කරලා මාවයි, දරුවොයි මරලා දානවා කියලා. තමුන්නාන්සේලා එක්ක ප‍්‍රවෘත්ති සාකච්ඡා තියපු එන්ජී ඕවල සාමාජිකයෝ එහෙම කිව්වා. ඇයි එහෙම කියන්නේ, මේ රටේ කිසිම රාජ්‍ය නායකයෙකුට එහෙම කියලා නැහැ.

මේ රටේ දැඩි පාලකයෙක් විදියට සමාජය කතාකරන ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ කාලේ මේ රටේ ප‍්‍රශ්න ගණනාවක් ඇති වුණා. එතුමාගේ ආණ්ඩුව කාලේ බොහොම සටන් කරලා මම ඒ කාලයෙත් හිරේ ගිය කෙනෙක්, බණ්ඩාරනායක මැතිණියගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරපු වෙලාවේ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඉන්දු – ලංකා ගිවිසුම් අත්සන් කළා මුළු රටටම ඇදිරි නීතිය දාලා. අපි ඊට විරුද්ධව මහ පාරේ නිදා ගත්තා. එතකොට ඒ කාලයේ මිනිස්සුන්ට පුළුවන්කමක් තිබුණානම් ඇදිරි නීතිය නොදා හිටියනම් ඔය අද මගේ ගේ වට කරලා මට කරනවා කියන දේ රටේ ජනතාව එදා කියයි. හැබැයි රටේ ජනතාව එහෙම කිව්වේ නැහැ. පේ‍්‍රමදාස ජනාධිපතිතුමා මොනතරම් ප‍්‍රශ්නවලට මුහුණ දුන්න ද, මොනතරම් ජනතා විරෝධය ආපු තැන් තිබුණ ද, හැබැයි එතුමාට කවුරුත්වත් කිව්නේ නැහැ, එතුමාගේ ගේ වට කරනවා කියලා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය හිටියා එතුමියට විරුද්ධව රටේ කොච්චර දේවල් සිද්ධ වුණාද, කවුරුවත් කිව්වේ නැහැ ගාඩාෆිට කරපු දේ කරනවා කියලා, මහින්ද රාජපක්ෂ මහත්තයට රටේ විශාල ජනතා විරෝධයක් තිබුණා. ඒක ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ තමයි එතුමා පරාජය කළේ. හැබැයි කවුරුවත් කිව්වද ගඩාෆි වගේ ඇදගෙන යනවා කියලා. නැහැ. ඇයි එහෙමනම් මට කිව්වේ, මට කිව්වේ එහෙම කරන්න පුළුවන් නිසා. එහෙම කරන්න ආවනම් මම නිශ්ශබ්දව බලාගෙන ඉන්න මිනිහෙක් නිසා. ජේ.ආර්. ජයවර්ධනගේ ඉදලා හිටපු නායකයන්ට එහෙම කිව්වනම් ඒ කියපු කිසිවෙක් ඉතිරුවෙන්නේ නැහැ. හැබැයි දන්නවා මම වගේ මිනිහෙක්ගේ ගේ ගිනි තියන්නත් පුළුවන්. වට කරන්නත් පුළුවන්. ගඩාෆි වගේ මාව ඇදගෙන යන්නත් පුළුවන් කියලා දන්නවා.

මගේ ප‍්‍රතිපත්තිය සහ දර්ශනය තුළ රටේ යහපත් සමාජයක මිනිස්සු හොද පැත්තට එක්වෙනවා වගේම අපරාධකාරයෝ, පාතලයෝ, මිලේච්ඡ පිරිස ඒ ප‍්‍රකාශ කළේ ඒ නිසා. මාව ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණය ගැන මම දැක්කේ නැහැ තමුන්නාන්සේලා කිසි තැනක මේ වගේ ප‍්‍රශ්නයක් තියෙනවා කියලා කතා කරනවා. එම ඝාතන කුමන්ත‍්‍රණය ඔප්පු වෙලා නෙවේ, නමුත් ඒකට කරුණු කාරණා රාශියක් තිබෙනවා. දැන් මේ දිනවල මගේ භාරයේ පොලිසිය තිබුණු නිසා ඒ පරීක්ෂණවල ලොකු ප‍්‍රගතියක් තියෙනවා. නමුත් අවාසනාව කියන්නේ රටේ ජනාධිපතිවරණයා ඝාතනය කිරීම පිළිබඳ කුමන්ත‍්‍රණය අධිකරණයේ විභාග වන අවස්ථාවේ පහුගිය නඩු දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ එක්කෙනෙක්වත් හිටියේ නැහැ. මම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට කතා කරලා ඇහුවා දැන් මොකද මේ ගිහිල්ලා නැත්තේ කියලා. ඔව් ඔව් සර් ඒක වැරදීමක් සමාවෙන්න, සමාවෙන්න කියලා සිය සැරයක් විතර කිව්වා, නමුත් සමාවෙන්න කියලා සිය සැරයක් කියන එකද, ජනාධිපතිවරයා ඝාතනය කිරීම පිළිබඳ කුමන්ත‍්‍රණයකට අධිකරණයේ පවතින නඩු විභාගයක් කොතෙක් දුරට නොසළකා තිබෙනවද කියන ප‍්‍රශ්නය මතු වෙනවා. ඒ අනුව ඒ පරික්ෂණයේ දැනට තොරතුරු ලැබී තිබෙනවා බොහොම පැහැදිළි කරුණු පිළිබඳව, මම ඒ ගැනත් මතක් කළේ මේ සියලූදේවල් එක්ක එහෙම දේවල් පිළිබඳවත් වාර්තා වෙන නිසා.

මේ ගැසට් නිවේදන ගැන කථා කළොත් එම ගැසට් නිවේදන ගැහුවේ නීති විශාරදයන්ගේ උපදෙස් අනුව ඉතාමත් සද් භාවයෙන් මම මේක කළේ. ඉතාමත් යහපත් චේතනාවෙන් කළේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළයුතුයි කියන අපවිත‍්‍ර චේතනාවකින් කරලා නැහැ. රට තුළ බරපතළ දේශපාලන අර්බුදයක් ඇතිවුණා. ඒක විසදාගැනීමට හොදම ක‍්‍රමය ඡන්දයකට යාමයි. පාර්ලිමේන්තුවේ මේ ලියුම අත්සන් කළේ මන්ති‍්‍රවරු 122 යි. මේ රටේ ලක්ෂ 155 ක ඡන්ද දායකයින් ඉන්නවා. මේ ලක්ෂ 155 ක් ඡන්ද දායකයින්ට බලය දෙන්න මම ගැසට් නිවේදනය ගැහුවේ පාර්ලිමේන්තුවේ ඉන්න 122 කට වැඩිය මේ ලක්ෂ 155 ඡන්දය තමයි ජනතා පරමාධිපත්‍ය තීරණාත්මක සාධකය සාක්ෂිය සහ රට වගේම ලෝකය පිළිගත යුතු වෙන්නේ කියලා. ඒ නිසයි මම එතනට ගියේ. බොහොම පැහැදිළි පිරිසිදු චේතනාව තුළ මම කරපු දේවල්වලට මට දඩුවම් දෙනවානම්, දෝෂාභියෝග ගෙනවනම් ඒක වෙනම කාරණයක්. හැබැයි ඉතිහාසයේ ලියවෙයි, වෙන කෙනෙක් ලිව්වේ නැත්නම් මම ලියනවා, මම දැන් මේ දවස්වල ලියාගෙන යනවා, මම පහුගිය දවස්වල කිව්වේ මම පොතක් ලියනවා කියලා රනිල් වික‍්‍රමසිංහ මහත්තයා එක්ක පාලනය ගැන, මම දැන් මේ දවස්වල ලියාගෙන යනවා ඒක, ඒ පොත ජනවාරි අන්තිම වෙනකොට පෙබරවාරි වෙනකොට පිට කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මම ඒකේ මේ කරුණුත් සඳහන් කරනවා. උසාවි මෙහෙම තීන්දු දුන්නට මගේ චේතනාව කුමක්ද, ලක්ෂ 155 කට ජනවරම දීම, පාර්ලිමේන්තුවේ ඡන්දය එපා කියපු 122 ට වඩා ශක්තිමත් කියා මම දන්නා නිසා කියලා. ඒ නිසා මේක ගලේ කෙටුවා වගේ ඉතිහාසයට මම ලියනවා.

මම මගේ දේශපාලන ජීවිතය තුළ පස් හය සැරයක් මැරණ මිනිහෙක්. මාව ඉස්සෙල්ලා මැරුවේ 71. මාව ජේවිපියට කිසිම සම්බන්ධයක් නැතුව මගේ නම දීලා මාව චේගුවේරාකාරයා කියලා මට ගහලා මාව ගෙනිහිල්ලා මඩකලපුවේ හිර ගෙදර අවුරුදු එක හමාරයක් මම හිටියා. ඒ පළවෙනි වතාවට දෙවියන් වහන්සේ මාව බේරා ගත්ත අවස්ථාව.

”ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරි” මම ආත්මීය වශයෙන් ධාර්මික ජීවිතයක් පෙර ආත්ම වලත් ගත කරලා ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා තමා මගේ ජීවිතය බේරිලා තියෙන්නේ කියලා මම දන්නවා. එල්ටීටීඊ එකෙන් මට පස් සැරයක් ගැහුවා. ”ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරි” කිවේ එකයි. මගේ මේ රෝම කූපයකටවත් දැනුනේ නැහැ. මට ගහන්න ආව එල්ටීටි කාරයෝ වරින් වර අවස්ථා පහේ දීම පොළොන්නරුවේ ඔවුන්ම සයනයිට් කාලා මරුණා. ඔබට මතක ඇති ඒ මරන්න ආපු එක් කෙනෙක් හිර භාරයේ ඉන්නකොට මම සිරභාරයෙන් ඔහුව නිදහස් කෙරුවා. අවසාන ප‍්‍රහාරය මට බොරගැස්ගමුවේ දී එල්ල වුණේ. බොරලැස්ගමුවේ ප‍්‍රහාරයේ දී අහිංසක මිනිස්සු හතර පස් දෙනෙක් මැරුණා. මගේ ඇගේ රෝම කූපයකටවත් දැනුනේ නැහැ. අගමැතිතුමාටත්, ඔබතුමාලාටත් මතක ඇති රාජගිරියේ ඇන්.එම් පෙරේරා ප‍්‍රතිමාව හන්දියේ දී අපිට ගහපු හැටි අපි හදිසි නීතියට ඡන්දේ දීලා එනකොට එල්ටීටී ඇවිත් පැනලා. මාව එතැනට කොටු වුණා. මගේ නෝනායි, දරුවෝයි ආපු වාහනය එතැන ගෙදරක තිබිලා එල්ටීටීකාරයෝ කාරයෝ ඒ වාහනය අරගෙන පැනලා ගියේ. ඒ වාහනේ ඊට පහුවදා මල්වාන පැත්තේ දාලා ගිහින් තිබිලා අහුවුණා. එවැනි අවස්ථා ගණනාවක් තියෙනවා. එක නිසා මේ සියල්ල ගත්තහම 1971 ඉඳලාම එතකොට මගේ වයස අවුරුදු 19 යි. දැන් මගේ වයස 67 ඉවරයි. අවුරුදු 19 ඉඳලාම මම බෝනස් ඉන්නේ. දෙවියන් වහන්සේ මාව අවස්ථා පහක දී බේරලා තියෙනවා.

ඒ නිසා මාව ගඩාෆි වගේ ඇදගෙන යන අයට ඇදලා ගෙනිහිල්ලා මරන්න පුළුවන්. ඒක ගැන මගේ කිසිම විරැුද්ධත්වයක් නැහැ. ඒ අයට හමුදාව දාලා, එස්ටිඑෆ් දාලා වෙඩි තියන්නේ නැහැ. එහෙම ඕනැ වෙලාවක ඇවිත් වට කරපුවාහම මම නිශ්ශබ්දව ඉන්නවා. එනවයි කියලා දැන ගත්තහම ගෙට්ටුව අරිනවා. ඔය ඉන්න ආරක්ෂක හමුදා, එස්ටීඑෆ් එකටයි සියලූ දෙනාට යන්න කියලා කියනවා. ඒ අයට ඇවිල්ලා ගෙදරයි මාවයි ගිනි තියලා මරලා දාලා යන්න කියලා සියලූ දෙනාට කියනවා ඔය එන්ජීයෝ කාරයින්ටයි, තමුන්නාන්සේලාගේ ඔය කියපු මන්තී‍්‍රවරුන්ටයි මම බොහොම පැහැදිලිව මේක කියනවා.

ඒක නිසා මේ සියලූ දේවල් එක්ක අපි කල්පනා කරන්න ඕනැ මේ අත්දැකිම් එක්ක අපි මොන විදියට ද ඉදිරිය පිළිබඳ කරුණු කාරණා සිදු කළ යුත්තේ කියලා. ඉතින් මේවා එක්ක මේ විදියටම ද මේ ආණ්ඩුව යන්නේ. ඔබතුමලාගේ මේ මන්තී‍්‍රවරුන් මට දුරකතනයෙන් කතා කරලා කියනවා, සමහර අය මට ඊයේ පෙරේදා හමුවෙලා කිව්වා අපි දැන් එකතු වෙලා ගමනක් යමු කියලා. මේ දේවල් එක්ක මේ ගමන යාම පිළිබ`දව මම දකින්නේ නැහැ මොකක්ද සහතිකය කියලා. ඒ නිසා ගැටුම් හදාගන්න මට වුවමනාවක් නැහැ. මේ ගැටුම හැදෙන්න හැදෙන්න රට වැටෙනවා. මේ දූෂිත තත්ත්වයන් ඉතාමත්ම ප‍්‍රබලයි. පාර්ලිමේන්තුවේ ඉතාමත් දූෂිත දේශපාලනඥයන් පිරිසක් ඉන්නවා. අපේ කැබ්නට් මණ්ඩලය ගත් විට දූෂිත පිරිසක් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙච්ච රටේ ජනතාවට දුන්න යහපාලන දේශපාලන සංකල්පය අමු අමුවේ දුෂණය කරලා තියෙනවා. මේකට වැරදිකාරයා මම නෙවෙයි කියන එක මම පැහැදිලිව කියනවා. මම ඒ පරිත්‍යාගය කරලා, මගේ සියලූ කැපවීම් කරලා තියෙනවා. ඒ සියලූ දේවල් විනාශ කළා. ඒ සියලූ දේ විනාශ වුණා. මේ රටේ මට ඡුන්දය පාවිච්චි කරපු අති බහුතරයක් නියෝජනය වන ඒ ගෞරවනීය එක්සත් ජාතික පක්ෂිකයෝ ඒ අය දන්නේ නැහැ මේ විදියට කුණු වෙලා තියෙන, මේ දේශපාලන ඔද්දල් වෙච්ච, ඡරා ජීර්ණ වෙච්ච මේ දේශපාලන ක‍්‍රමයේ අභ්‍යන්තර තත්ත්වය ඒ අය දන්නේ නැහැ. ඒ අය දන්නවානම් මම හිතන්නේ නැහැ ඔය විදියට කෑගහන්න, පෙළපාලි යන්න, වට කරන්න ඕවාට එකතු වෙයි කියලා.

ඒ නිසා මේ රට ගත් විට අපි කියනවා වාසනාවන්ත රටක් කියලා ඇත්තටම වාසනාවන්ත රටක් තමයිි හැබැයි හෙට දවස වෙනුවෙන් මේ රට ගොඩ ගන්න, මේ රටේ දුෂණයෙන් තොර දේශපාලනඥයෝ කී දෙනෙක් ඉන්නවා ද? දූෂණයෙන් තොර දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන්න අවශ්‍ය පිරිස කවුද? අන්න ඒ අයගේ එකාරාශී විමක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ තුළ හොඳ රටක් හදන්න, හොඳ සංවර්ධනයක් ගෙනයන්න. දුෂණයෙන් තොර පාලනයක් ගෙනයන්න අපි කතා කරන සම්පුර්ණයෙන් අසාර්ථක වූ යහපාලන දේශපාලන සංකල්පය ඉෂ්ට වෙන්න. මේ විදියට රටට ආදරය කරන, රට ගැන හිතන, රටේ සංස්කෘතික වටිනාකම් දන්න ආගමික ධර්මතාවයන් එක්ක සමාජ හර පද්ධතීන්වලට ගරු කරන ලෝකයේ රටවල් දියුණු වෙලා තියෙන්නේ එහෙමයි.

ඒ නිසා මම ඉදිරියේ ප‍්‍රශ්නාර්ථයක් තියෙනවා එහෙම රට ගොඩ ගන්න පිරිසක් කෝ කියලා. මේක එක් කෙනෙකුට දෙන්නෙකුට කරන්න බැහැ. මේකට හොඳ පිරිසක් ඕනැ. ජනතාවට ඒ නායකත්වය දෙන්න හොඳ පිරිසක් අවශ්‍යයයි. ඒක නිසා රටේ ජනතාවට කියන්න තියෙන්නේ මේකයි. කෙනෙක් අහන්න පුළුවන් රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට පාර්ලිමේන්තුවේ 225 ක් තිබුණත් අගමැතිකම දෙන්නේ නැහැ කියලා මම කිව්වා නේද කියලා, දැන් අදින් පස්සේ අහයි. නොයෙක් දේවල් කියයි නොයෙක් නොයෙක් අපහාස උපහාස කරයි. ඒක මගේ දේශපාලන මතය. ඒ මතයේ තිබෙන ප‍්‍රබලකම නිසා තමයි මම එහෙම කිව්වේ, 225 ම අත්සන් කලත් මම රනිල් වික‍්‍රමසිංහ මහත්තයට අගමැතිකම දෙන්නේ නැහැ කියලා. ඔබතුමාලා එතැන දී පාර්ලිමේන්තුවට ගිහිල්ලා 117 ක් අත්සන් කරලා, පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නුවා. පාර්ලිමේන්තුවට කිසිම තැනක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නැහැ ජනාධිපතිට යෝජනා කරන්න, නියෝග කරන්න කිසි තැනක මෙන්න මෙයා අගමැති විදියට පත් කරන්න කියලා. අධිකරණයටත් බැහැ මම දන්න විදියට අහවල් පුද්ගලයා අගමැති විදියට පත් කරන්න කියලා කියන්න. ඒක බොහෙම පැහැදිලිව තියෙන්නේ විධායක ජනාධිපතිවරයාට.

නමුත් මම සදාචාර සම්පන්නව, පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය ගරු කරන කෙනෙක් විදියට කතානායකතුමාගේ ඡුන්දයේ දී පාර්ලිමේන්තුවේ 117 ක් ප‍්‍රකාශ කළ නිසා රනිල් වික‍්‍රමසිංහ මහත්තයට අගමැතිකම දෙන්න කියලා මම ඒ තීන්දුව ගත්තා. මගේ පෞද්ගලික දේශපාලන මතය වුණේ 225 ම අත්සන් කලත් රනිල් වික‍්‍රමසිංහ මහත්තයට අගමැතිකම දෙන්නේ නැහැ කියන එක, ඒක එහෙම්ම තමා අදත්. නමුත් පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය තුළ මම ඒ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට ගරු කරලා, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරලා මම තීන්දු කළා අගමැතිකම දිය යුතුයි කියලා. මම මේක දකින්නේ ප‍්‍රජාත‍්‍රන්ත‍්‍රවාදී සමාජයක, සදාචාර සම්පන්න සමාජයක ලක්ෂණයක් විදියටයි.

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය