Presidential Media Unit Default Banner

නව ජනාධිපති ලේකම් ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා පත් කර තිබෙන අතර ඒ මහතා අද (04) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ශී‍්‍ර ලංකාවේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා රාජ්‍ය පරිපාලනය පිළිබද ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍රපති උපාධිධාරියෙකි.

පොළොන්නරුව සහ නුවරඑලිය දිසාපතිවරයා ලෙස කටයුතු කළ ඒ මහතා සමූපකාර සංවර්ධන කොමසාරිස් තනතුර ද හෙබ වූ අතර පුනරුත්තාපන, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් සභා කටයුතු පිළිබද අමාත්‍යාංශවල ලේකම්වරයා ලෙස මෙන්ම එක්සත් ජාතික පෙරමුණු රජයේ ආරක්ෂක ලේකම්වරයා ලෙස ද කටයුතු කර තිබේ.

මේ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් කපිල වෛද්‍යරත්න මහතා අද ජනාධිපතිතුමා අතින් පත්වීම් ලැබීය.

නව යුද හමුදාපති ලෙස යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පත් කර තිබෙන අතර ඔහුද අද ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ජනාධිපති ලේකම් ලෙස පත්වීමෙන් හිස් වූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධූරය සදහා හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා පත් කර තිබේ.

01 (2) 02 (3) 03

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය