01 (54)

නව පළාත් පාලන ඡන්ද ක‍්‍රමය කි‍්‍රයාවට නංවමින් පළාත් පාලන මැතිවරණය මෙම වසරේ පැවැත්වීමට හැකිවනු ඇතැයි තමා දැඩි ලෙස විශ්වාස කරන බව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පැවසීය. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ පිරිසිදු දේශපාලන සංස්කෘතියක් උදෙසා ආරම්භ කළ මාර්තු 12 ව්‍යාපාරය, ඡන්ද දායකයින් දැනුවත් කිරීම සදහා දීප ව්‍යාප්තව ආරම්භ කරන ලද දැනුවත් කිරීමේ වැඩසටහනේ සමාප්ති උත්සවයට අද (07) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී එක්වෙමිනි.

කොට්ඨාස ඡන්ද ක‍්‍රමය අනුව නව පළාත් පාලන මැතිවරණ ක‍්‍රමය එදා සකස්ව, සම්මත වී තිබුණ ද කොට්ඨාස නිර්ණය කිරීමේ කොමිෂන් සභාව එහිදී තම වගකීම් නිසි ලෙස ඉටු නොකිරීමේ ප‍්‍රතිඵලය අද අත්විදීමට සිදුව ඇති බව ද ජනාධිපතිතුමා මෙහිදී සදහන් කළේය.පළාත් පාලන මැතිවරණය කල් දැමීමට අද මූලික වශයෙන්ම හේතුවී ඇත්තේ මෙම කොට්ඨාස නිර්ණය කිරීමේ කාර්ය අපක්ෂාපතීව සහ ස්වාධීනව ඉටු නොවීම බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

කෙසේ වෙතත් නව රජය බලයට පත්වීමෙන් පසු නැවත කමිටුවක් පත්කර කොට්ඨාස නිර්ණය කිරීමේ කටයුතු ආරම්භ කළ බව පැවසූ ජනාධිපතිතුමා ඒ පිළිබදවද කොතෙක් විවේචන එල්ල වුවත් රටේ සිදුවිය යුතු දේශපාලන සහ සමාජ ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් එය අත්‍යාවශ්‍ය මූලාරම්භයක් බව තමා සලකන බවද ප‍්‍රකාශ කළේය.රටත්, සමාජයත් වෙනුවෙන් කළයුතු පරිවර්තනයන්හි මුල් ආරම්භයක් ලෙස තමා එය සළකන බවද ප‍්‍රකාශ කළේය.1978 ව්‍යවස්ථාවෙන් ඇතිවූ මනාප ඡන්ද ක‍්‍රමය තුළින් පක්ෂවල දේශපාලන ප‍්‍රතිපත්ති සහ දර්ශන යටපත්වී පුද්ගලයින් ඉස්මතු වීම සිදුවූ බව ද මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා නව පළාත් පාලන මැතිවරණ ක‍්‍රමය සහ කොට්ඨාස ඡන්ද ක‍්‍රමය මේ රටේ ජනතාවගේ ජයග‍්‍රහණයක් බව ද කියා සිටියේය.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය රටේ පරිවර්තනීය යුගයක ආරම්භයක් ලෙස සදහන් කළ හැකි බව පැවසූ ජනාධිපතිතුමා 19 වන සංශෝධනය සිදු කිරීමට රජයට සිදුවූයේ 18 වන සංශෝධනය තුළින් මේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ රාජාණ්ඩු ස්වරූපයක් ඇති වූ නිසා බව ද සිහිපත් කළ අතර විනිශ්චයකාරවරුන්, නීතිපති, පොලිස්පති, මැතිවරණ කොමසාරිස් මෙන්ම කොමිෂන් සභා ඇතුළු රටේ වගකිවයුතු ස්වාධීන අපක්ෂපාතී තනතුරු සදහා පත් කිරීමේ තනි බලය එදා ජනාධිපතිවරයාට හිමි වූ බව ද කියා සිටියේය.එම තත්ත්වයන් තුළ මහජනතාව සිදුකළ හඩනැගීමේ ප‍්‍රතිඵලයක් ලෙස 19 වන සංශෝධනය සිදු කළ බවද ජනාධිපතිතුමා සදහන් කළේය.

‘නව පළාත් පාලන ඡන්ද විමසීම් ක‍්‍රමය සමග නව දේශපාලන සංස්කෘතියක් ගොඩ නගමු’ මැයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.
මැති ඇමතිවරු පිරිසක් සහ මාර්තු 12 ව්‍යාපාරයේ නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
02 (42)

03 (36)

04 (29)

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය