Default Banner

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත් කළ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාට ලබන සඳුදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා අතින් පත්වීම් ලිපිය ලබා දීමට නියමිතය.

ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිතුමා විසින් නව මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නම් කරනු ලැබීය.

මේ අතර ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සහ ජනාධිපතිතුමා අතර සාකච්ඡාවක් අද (02) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.

අන්තර්ජාතික ආර්ථීක විශේෂඥයෙක් වන ආචාර්ය කුමාරස්වාමි මහතා 1973 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව සමග සම්බන්ධ වී ඇති අතර ආර්ථීක පර්යේෂණ, සංඛ්‍යා ලේඛන සහ බැංකු අධීක්ෂණ කොට්ඨාශ නිලධාරියෙකු ලෙස 1989 වසර දක්වා සේවය කර ඇත.

1981 සිට 1989 කාලයේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයට ද අනියුක්ත කොට තිබූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා 1990 සිට 2008 දක්වා බ්‍රිතාන්‍යයේ පිහිටි පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ ආර්ථීක කටයුතු පිලිබඳ අධ්‍යක්ෂ වශයෙන් ද මහලේකම්වරයාගේ කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කර තිබේ. පසුව නැවතත් පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ සේවයට එක්වන ඒ මහතා සමාජ ප්‍රතියෝජන වැඩසටහන් අංශයේ අන්තර්වාර අධ්‍යක්ෂ වශයෙන් ද කටයතු කළේය.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් සහ බ්‍රිතාන්‍යයේ හැරෝ විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කේම්බි්‍රජ් විශ්ව විද්‍යාලයෙන් සිය මූලික උපාධිය ලබා සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ද ලැබූ මූල්‍ය කළමණාකරණය පිලිබඳ හසළ විද්වතෙකි.

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය