4

තිරසර ආර්ථික සංවර්ධනය, දිළිදුකම පිටුදැකීම සහ රට තුළ යළි ගැටුම් ඇති නොවන ලෙස සංහිඳියාව ස්ථාපිත කරමින් සියලූ ජාතීන් අතර මිත‍්‍රත්වය ගොඩනැගීම සිය රජයේ ප‍්‍රමුඛ අරමුණු බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකාව සඳහා අලූතින් පත්ව ආ නව රාජ්‍ය තාන්ති‍්‍රකයින් සිව් දෙනෙකු අද (24) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිතුමා වෙත සිය අක්තපත‍්‍ර භාරදුන් අවස්ථාවේදි අදහස් දක්වමිනි.

මොංගෝලියාවේ නව තානාපති ලෙස ගොන්චිග් ගැන්ග්බෝල්ඞ් (Gonchig Gangbold) මහතා ද, ලිතුවේනියාවේ නව තානාපති ලෙස ලයිමොනාස් ටලට්කෙලෙප්සෝ (Laimonas Talat-Kelpso) මහතා ද, පැනමා රාජ්‍යයේ නව තානාපති ලෙස සෝර්වියෝ සවුල් සනුඩියෝ බෙනත්කෝර්ට්(Sorvio Saul Sanudio Bethancourt) මහතා ද, ඉන්දියාවේ නව මහ කොමසාරිස් ලෙස තරංජිත් සිනිග් සන්ධු (Taranjith Singh Sandhu) යන මහත්වරුන් මෙලෙස පත්ව සිටි.

ශී‍්‍ර ලංකාව සහ සිය රටවල් අතර පවතින සබඳතා නව ප‍්‍රවේශයෙන් ඔස්සේ වඩා ශක්තිමත් කර ගැනීමට සිය ධූර කාලය තුළ නව රාජ්‍ය තාන්ති‍්‍රකයින් කැපවනු ඇති බවට මෙහිදී විශ්වාසය පළ කළ ජනාධිපතිතුමා ශී‍්‍ර ලංකාවේ නව සංවර්ධන සහ ආර්ථික අරමුණු ජයග‍්‍රහණය කරා ගෙන යාමට හිත මිතුරු සියලූ රාජ්‍යයන්වල සහය අපේක්ෂා කරන බවද කියා සිටියේය.

ශී‍්‍ර ලංකාව සහ සිය රටවල් අතර පවතින ආර්ථික, වෙළෙඳ, සංස්කෘතික සහ සමාජයීය සබඳතා උපරිම මට්ටමින් ශක්තිමත් කර ගැනීමට සිය ධූර කාලය තුළ කැපවන බවට මෙහිදී නව රාජ්‍ය තාන්ති‍්‍රකයෝ ජනාධිපතිතුමා හමුවේ ප‍්‍රකාශ කළහ.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇසළ වීරකෝන් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

3

1

2

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය