1 (15)

ස්වභාවික ආපදා තත්ත්වයන් හමුවේ මෙන්ම විවිධ ජාවාරම්කාර ව්‍යාපාර හමුවේ දිනෙන් දින ඉහළ යන පාංශු ඛාදනය වළක්වා ගනිමින් පස සංරක්ෂණය කිරීම සඳහා පාංශු සංරක්ෂණ පනත සකී‍්‍රයව කි‍්‍රයාත්මක කිරීමේ අවශ්‍යතාවය ජනපති අවධාරණය කරයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ පාංශු සංරක්ෂණ මණ්ඩලයේ නිලධාරින් සමග අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීය.

අනවසර වැලි සහ පස් ජාවාරම් හේතුවෙන් ගංගා මෙන්ම ඇළ දොළ ආශි‍්‍රතව සිදුවන ඉවුරු ඛාදනය හේතුවෙන් ජල මූලාශ‍්‍ර අවහිරවීමෙන් සිදුව ඇති අයහපත් තත්ත්වයන් පිළිබඳව ද මෙහිදී නිලධාරින්ගේ අවධානය යොමු කළ ජනාධිපතිතුමා එම තත්ත්වයන් වළක්වා ගැනීම උදෙසා පනතේ නෛතික කි‍්‍රයාකාරිත්වය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළේය.

එමෙන්ම අධිවේගි මාර්ග ඉදිකිරීමේදී ද කඳුවලින් පස් කාන්දුවීම වැළැක්වීම සඳහා යොදාගෙන තිබෙන තාක්ෂණික ක‍්‍රමවල දුර්වලතාවයන් මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා ඒ පිළිබඳ ඉදිරි සැලසුම්වලදී පාංශූ ඛාදනය වළක්වා ගැනීම පිළිබඳ ප‍්‍රමුඛ අවධානයක් යොමු කරමින් අදාළ ව්‍යාපෘති කි‍්‍රයාවට නැංවීමේ අවශ්‍යතාවය ද පැහැදිළි කළේය.

මධ්‍යම කදුකරයේ පමණක් නොව දිවයින පුරා පාංශු ඛාදනය වැළැක්වීම පිළිබඳ වැඩසටහන් සකි‍්‍රයව කි‍්‍රයාත්මක කිරීමට මෙහිදී ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන් අතර පනතෙහි නෛතික බලතල දිස්ති‍්‍රක් ලේකම්වරුන් සහ පළාත් පාලන ආයතන වෙත පවරාදෙමින් අදාළ චක‍්‍රලේඛ නිකුත් කිරීමට ද උපදෙස් දෙනු ලැබීය.

ලබන මස 06 වනදා සිට කි‍්‍රයාත්මක කෙරෙන වගා සංග‍්‍රාම ජාතික වැඩසටහනට සමගාමිව පාංශූ ඛාදනය වළක්වා ගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමට ද ජනාධිපතිතුමා අදාළ අංශ වෙත වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

1951 අංක 25 දරණ පස සංරක්ෂණය පිළිබඳ ආඥා පනත 1996 අංක 24 දරණ පස සංරක්ෂණය පනත මගින් සංශෝධනය වී ඇත. පසෙහි නිෂ්පාදන ධාරිතාව වැඩි දියුණු කිරීම සහ පවත්වාගෙන යාම, තත්ත්වය පහත වැටී ඇති ඉඩම් යථා තත්ත්වයට පත් කිරීම, පස සංරක්ෂණය කිරීම, ගංවතුර, ලවණතාවය, ක්ෂාරත්වය සහ ජලය එකතුවීම සහ නියගයෙන් සිදුවන අලාභහානි හමුවේ ඉඩම් ආරක්ෂා කිරීම මෙහි අරමුණු වේ.

ඒ යටතේ පිහිටුවා තිබෙන පාංශු සංරක්ෂණ මණ්ඩලය මෙවර රැස්වූයේ වසර දෙකකට පසුව වන අතර අනාගත පරපුර උදෙසා පස සුරැුකීමේ ජාතික වගකීම ඉටු කිරීම වෙනුවෙන් මණ්ඩලයේ කටයුතු නව මුහුණුවරකින් කාර්යක්ෂමව ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපතිතුමා සෑම මාස 06 කට වරක්ම තමාගේ ප‍්‍රධානත්වයෙන් සාකච්ඡාවක් කැඳවීමට ද උපදෙස් දුන්නේය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු අදාළ සියලූ ආයතනවල ප‍්‍රධානීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය