06

“පිබිදෙමු පොළොන්නරුව” දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ සිදු කෙරුණු සංවර්ධන කාර්යයන් රැසක් ජනතා අයිතියට පවරාදීම අද (02) දිනයේ ද ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය.

මහජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදිමේ අරමුණින් ඉදිකරන ලද විසල් පොළොන්නරුව ජල සම්පාදන ව්‍යාපෘතියේ කදුරුවෙල ජල පොම්පාගාරය හා ජල කුළුන ජනාධිපතිතුමා අතින් අද පළමුව ජනතා අයිතියට පැවරිණි.

පොළොන්නරුව නව නගරය, පැරණි නගරය, කදුරුවෙල හා තදාසන්න ප‍්‍රදේශ ආවරණය කිරීම සඳහා රුපියල් මිලියන 2240ක වියදමින් විසල් පොළොන්නරුව ජල සම්පාදන ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කෙරේ.

මේ අතර “පිබිදෙමු පොළොන්නරුව” දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 430ක වියදමින් ඉදිකෙරුණු සෙවනපිටිය ජලජීවි වගා සංවර්ධන මධ්‍යස්ථානය අද විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් ඉදිකරන ලද රත්මල්කණ්ඩිය සෞඛ්‍ය සායන මධ්‍යස්ථානය ජනතා අයිතියට පවරාදීම ඉන් අනතුරුව ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු විය. “පිබිදෙමු පොළොන්නරුව” දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ 110කි.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් එම පරිශ‍්‍රයේ පැළයක් රෝපණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

ප‍්‍රදේශයේ ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් රුපියල් මිලියන 17 වියදමින් ඉදිකරන ලද සිරිපුර ගොවිජන සේවා මධ්‍යස්ථානය ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට ඉන් අනතුරුව ජනාධිපතිතුමා සහභාගී විය.

එමෙන්ම රුපියල් ලක්ෂ 110ක වියදමින් ඉදිකරන ලද මුදුන්කඩවල සෞඛ්‍ය සායන මධ්‍යස්ථානය අද ජනතා අයිතියට පැවරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

ප‍්‍රදේශයේ ආගමික පුනර්ජීවනය ඇතිකරනු වස් රුපියල් ලක්ෂ 25ක වියදමින් අලූත්වැඩියා කෙරුණු නිකවතලන්ද ශ‍්‍රී පුර්වාරාම විහාරස්ථානයේ ආවාසගෙය සඝ සතු කොට පූජා කිරීමේ පුණ්‍යෝත්සවයට ද ජනාධිපතිතුමා සහභාගී විය.

අරලගංවිල, යාය 05, ශ‍්‍රී විසුද්ධාරාම විහාරස්ථානයේ රුපියල් ලක්ෂ 25ක වියදමින් ඉදිකෙරුණු නව දහම් පාසල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට ද ඉන් අනතුරුව ජනාධිපතිතුමා එක් විය.

දිඹුලාගල මහ කාශ්‍යප මහ පිරිවෙනේ පරිවෙනාධිපති පූජ්‍ය දේවගල දේවාලංකාර නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ ප‍්‍රදේශයේ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර ආණ්ඩුකාර සරත් ඒකනායක, නගරාධිපති චානක සිදත් රණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ජනාධිපතිතුමා සමඟ මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

01

02

03

04

05

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය