04

රාජ්‍ය දේපළ සොරකම් කරන්නන් මතු ආත්මයේ බල්ලන් සහ කපුටන් වී උපදින බවට, සිරිපා අඩවියෙන් හමු වූ නිශ්ශංකමල්ල සෙල්ලිපියේ සදහන් වැකිය ජනාධිපති කාර්යාලයේ සිට මැති ඇමතිවරුන්ගේ කාර්යාලවල මෙන්ම රජයේ කාර්යාලවල ප්‍රදර්ශනය කිරීම ඉතා යෝග්‍යයැයි තමා යෝජනා කරන බව ජනාධිපතිතුමා පවසයි.

ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 125 වෙනි සංවත්සර උත්සවයට ඊයේ (08) පස්වරුවේ එක්වෙමිනි. උත්සවය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ රටක, ජාතියක ඉතිහාසයේ සාක්ෂිකරුවන් වන්නේ කෞතුක වස්තූන් බවයි.

එමෙන්ම රටක් ජාතියක් ගොඩනැගීමට අතීතය පිළිබද සාඩම්බරයෙන් කථා කිරීම පමණක් සීමා නොවන බවද පැවසූ ජනාධිපතිතුමා එම අතීත ශ්‍රේෂ්ඨත්වය සහ විශිෂ්ඨත්වය අනාගත දරුවන්ට උදා කිරීම සදහා සියලූ දෙනා කැපවිය යුතු බවද ප්‍රකාශ කළේය.

පසුගිය වසර ගණනාවක් පුරා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තනතුරු 42 ක් පුරප්පාඩු වී පවතින බවට තමාට තොරතුරු ලැබී ඇති බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කටයුතු පසුගිය කාලය තුළ දැඩි දෝෂදර්ශනයට ලක්වීම පිළිබද පසුගිය රජය වගකිව යුතු බවද කියා සිටියේය.

කෙසේ වෙතත් නව රජය ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අවශ්‍ය සියලූ මානව සහ භෞතික සම්පත් ලබා දී නව තාක්ෂණය සමග ඉදිරියට යාමට අවස්ථාව සළසා දෙන බව ජනාධිපතිතුමා පැවසීය.

ඊයේ පස්වරුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත ගිය ජනාධිපතිතුමා පළමුව එම පරිශ්‍රයේ පිහිටි හිටපු පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතාන මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කෙරුණු අභිනව ධාතු මන්දිරයද විවෘත කළ ජනාධිපතිතුමා ඒ සදහා ප්‍රථම මල් පූජාව සිදු කළේය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සංවිධානය කරන ලද දුටුගැමුණු ධාතු ප්‍රදර්ශනය සහ පුරාවස්තු ප්‍රදර්ශනයද විවෘත කළ ජනාධිපතිතුමා එය නැරඹීමට එක් විය.

අනතුරුව පැවති උත්සවයේදී ,එදා සහ අද, පුරාවිද්‍යා සමරු කලාපය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූණු අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 125 වැනි සංවත්සරය වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද සමරු මුද්දරය සහ මුල්දින කවරයද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි. ජනාධිපතිතුමා වෙනුවෙන් විශේෂ සමරු තිළිණයක් මෙහිදී පිළිගැන්වීය.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක පූජ්‍ය දවුල්දෙණ ඥානීස්සර, පූජ්‍ය මහාචාර්ය ඛෙල්ලන්විල විමලරතන, සිතුල්පව්ව රජමහා විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන, කැළණිය රජමහා විහාරාධිපති පූජ්‍ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත යන ස්වාමින් වහන්සේලාද, අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක, ඒ.එච්.එම්. ෆවුසි, ඒ.එල්.එම්. හිස්බුල්ලා යන මහත්වරුන්ද මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ක්‍රිෂාන්ත ගුණවර්ධන, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

21 19 17 16 14 12 11 10 08 06 04 03 02

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය