4 (20)

ජාත්‍යන්තර ප‍්‍රමිතිකරණයෙන් යුත් ගෘහස්ථ කී‍්‍රඩා අත්දැකීමක් මහනුවර තරුණ තරුණියන් වෙත ද ලබාදෙමින් ඉදිකෙරණු මහනුවර මහ නගර සභා ගෘහස්ථ කී‍්‍රඩාගාරය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් අද (03) පස්වරුවේ විවෘත කෙරිණි.

වසර 145 ක් පුරා ගව ඝාතකාගාරයක් ලෙස පවත්වාගෙන ගිය මහනුවර සුදුහුම්පොල පිහිටි පර්චස් 80 ක වපසරියකින් යුත් භූමියේ රුපියල් මිලියන 220 ක් වැය කරමින් මෙම අංග සම්පූර්ණ ගෘහස්ථ කී‍්‍රඩාගාරය ඉදිකර තිබේ.

බැඞ්මින්ටන්, මේසපන්දු, දැල්පන්දු, අත්පන්දු ආදී කී‍්‍රඩා පහසුකම්වලින් මෙන්ම පේ‍්‍රක්ෂකයින් සදහා ආසන 2000 ක ඉඩකඩ පහසුකම්වලින් සහ සම්මන්ත‍්‍රණ සහ උත්සවය පැවැත්වීමේ පහසුකම්වලින් මෙන්ම ශාරිරික සුවතා හා ව්‍යායාම මධ්‍යස්ථානයකින් හා කි‍්‍රඩක කී‍්‍රඩිකාවන් සදහා නේවාසික පහසුකම්වලින් මෙම කී‍්‍රඩාගාරය සමන්විතය.

සමබර මානසිකත්වයකින් හා මනා පෞරුෂත්වයකින් යුත් සෞඛ්‍ය සම්පන්න නිරෝගී, විනයගරුක සමාජයක් බිහිකිරීමේ අරමුණින් මහනුවර මහ නගර සභාවේ ප‍්‍රතිපාදන මත මෙය ඉදිකර තිබේ.

සමරු ඵලකය නිරාවරණය කර කී‍්‍රඩාගාරය විවෘත කළ ජනාධිපතිතුමා එහි කී‍්‍රඩා තරග නැරඹීමට ද එක් විය.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මහනුවර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මයන්ත දිසානායක, පළාත් අමාත්‍යවරුන්වන එදිරිවීර වීරවර්ධන, තිළිණ බණ්ඩාර තෙන්නකෝන්, මහනුවර හිටපු නගරාධිපති මහේන් රත්වත්තේ, හිටපු නියෝජ්‍ය නගරාධිපති අසංක දොඩංවල, නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන් වැඩවෙසෙන මහනුවර, මැණික්හින්න, හුරෙයිකඩුව ශී‍්‍ර විද්‍යාසාගර මහ පිරිවෙන වෙත අද පස්වරුවේ ගිය ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුව දුක් විමසීය.

පූජ්‍ය නාපාන පේමසිරි නායක හිමිපාණන් වහන්සේගේ අනුහයවන ජන්ම දිනය පසුගියදාට යෙදී තිබූ අතර ඒ නිමිත්තෙන් උන්වහන්සේ වෙත ජන්ම දින සුබ පැතුම් පළ කළ ජනාධිපතිතුමා දීර්ඝායුෂ ද ප‍්‍රාර්ථනා කළේය.

අනතුරුව උන්වහන්සේගේ සුව දුක් විමසමින් කෙටි පිළිසදරක නිරත විය.

මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

මෙම වැඩසටහන් සදහා එක්වීමට අද පස්වරුවේ මහනුවර ප‍්‍රදේශයට ගිය ජනාධිපතිතුමා පොල්ගොල්ල ජලාශය ද නිරීක්ෂණය කළේය.

ඉන් අනතුරුව මාර්ගයේ ඇවිද යමින් නිදහසේ ගත කළ ජනාධිපතිතුමා ජනතාව සමග ද සුහද කථා බහක නිරත විය.
1 (33)

2 (32)

3 (18)

6 (15)

7 (11)

02 (68)

1 (34)

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය