15

ජාතික ආරක්ෂාව පිළිබද වගකීම ඉටු කරනවා සේම බරපතල සමාජ ඛේදවාචකයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය උවදුරින් සමාජය ගලවා ගැනීම සදහා විශාල වගකීමක් නාවික හමුදාව වෙත පැවරී ඇති බව ජනාධිපතිතුමා පවසයි.

මෙරටට මත්ද්‍රව්‍ය ගලාඒම වැළැක්වීම සදහා දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙලට වඩා පුළුල් ජාතික වැඩපිළිවෙලක්  ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව සිය දායකත්වය ලබාදිය යුතු බවද ජනාධිපතිතුමා පැවසීය.

ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුරේ නව සාගරික විද්‍යා පීඨ ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (28) පෙරවරුවේ එක් වෙමිනි.

විවිධ ජාවාරම්කරුවන්ගෙන් වෙරළ සංරක්ෂණ ප්‍රදේශ ආරක්ෂා කර ගැනිමද අද ගැටලූවක් බවට පත්ව ඇති බව පැවසූ ජනාධිපතිතුමා ති්‍රවිධ හමුදාව, පොලීසිය මෙන්ම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහ ජනතාවගේ දායකත්වයෙන් ජාවාරම්කරුවන්ගෙන් වෙරළ සංරක්ෂණ ප්‍රදේශ ආරක්ෂා කර ගැනීමට විධිමත් වැඩපිළිවෙලක් කි්‍රයාත්මක කළයුතු බව ප්‍රකාශ කළේය.

කිසිදු බේදයකින් තොරව තරාතිරම නොබලා සැමට නීතිය එක සේ ක්‍රියාත්මක කරන රජයක් ලෙස වරදකරුවන්ට දඩුවම් ලබාදීමට රජය කිසිදු පැකිළීමකින් තොරව කටයුතු කරන බවද ජනාධිපතිතුමා පැවසීය.

එමෙන්ම වසර 20 ක 22 ක සේවා කාලය අවසන් කර අවුරුදු 40 ක් 45 ක් වැනි තම ජීවිතයේ දැනුම, බුද්ධිය සහ අත්දැකීම් වඩා ඵලදායී ලෙස රටට ලබාදිය හැකි කාලයක නාවික හමුදාවෙන් ඉවත්වයන නිලධාරින්ට තම කැමැත්ත මත රාජ්‍ය සේවයට ඇතුළත්වීමට අවස්ථාව ලැඛෙන වැඩපිළිවෙලක් සකස් කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

අද පෙරවරුවේ  ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුර වෙත ගිය ජනාධිපතිතුමා නාවික හමුදාපති රියාර් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා විසින් පිළිගෙන කැදවාගෙන යනු ලැබීය. ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක මහතා ද මෙම අවස්ථාවටඑක්ව සිටියේය.

ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් කදවුර පරිශ්‍රයේ රැක් රෝපණයක්ද පළමුව සිදු කෙරිනි.

අනතුරුව ජනාධිපතිතුමා වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ උත්තමාචාරය පිළිගන්වමින් විශේෂ උත්තමාචාර පෙළපාලියක් පැවැත්විණි.

සමරු ඵලකය නිරාවරණය කර නව සාගරික විද්‍යා පීඨ ගොඩනැගිලි සංකීර්ණය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂන චාරිකාවකද නිරත විය. අද දින විවෘත කරනු ලැබුවේ සියලූම පුහුණු පහසුකම් වලින් යුත් ගොඩනැගිලි 10 කින් සමන්විත විද්‍යාපීඨ සංකිර්ණයේ පළමු අදියරයි.

මේ අතර කැඩෙට් පුහුණුව සදහා ත්‍රීකුණාමලය නාවික හමුදා කදවුර වෙත පැමිණ සිටි පාසල් දැරියන් පිරිසක් අතරටද ගිය ජනාධිපතිතුමා ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කථා බහක නිරත විය.

අනතුරුව ති්‍රකුණාමලය නාවික හමුදා කදවුරේ නැව් තටාකාංගනය වෙත පැමිණ එහිදී අලූත්වැඩියා කරන ලද නෞකාවක් දියත් කිරීමේ අවස්ථාවටද එක් විය.

අද පෙරවරුවේ පුරා පැය 04 කට ආසන්න කාලයක් ත්‍රීකුණාමලය නාවික හමුදා කදවුරේ ගත කල ජනාධිපතිතුමා සිය නිලකටයුතුවලින් අනතුරුව ලද මද අස්වැසිල්ල ඉතා සැහැල්ලූවෙන් ගත කළ අතර නාවික හමුදා වාදන කණ්ඩායමේ සංගීතය රස විඳිමින් ඔවුන් සමග ගීතයක් ගායනා කිරීමටද එක් වූයේ වීරෝධාර රණවිරුවන් සමග තම හෘදයාංගමභාවය බෙදා හදා ගනිමිනි.
01 02 03 04 07 08 09

18 17 16 13 12 11 10 08 05 04 02 01

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය