01 (40)

ශ්‍රී ලංකා – රුසියානු සබඳතාවල නව පිටුවක් පෙරළමින් ආරම්භ කර ඇති ද්වි පාර්ශ්වික සබඳතාවල ප්‍රතිලාභ ශ්‍රී ලාංකිය ජනතාවට ලබාදීමට කැපවන බව රුසියානු අග්‍රාමාත්‍ය දිමිත්‍රි මෙද්වදේව් මහතා පවසයි.

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතාගේ ආරාධනයෙන් රුසියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ රුසියානු අග්‍රාමාත්‍ය දිමිත්‍රි මෙද්වදේව් මහතා අතර නිල හමුව අද (24) දහවල් පවැත්වුණු අතර එහිදී රුසියානු අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

රුසියානු අග්‍රාමාත්‍යවරයා විසින් මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉතා ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය.

අනතුරුව නායක දෙපළ අතර ද්වී පාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරුණු අතර හැට වසරක සබඳතා ශක්තිමත් පදනමකින් ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

1957 වසරේ ඇරඹී ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්වී පාර්ශ්වික සබඳතා ක්‍රියාත්මක වන්නේ ආර්ථීක, වෙළඳ, සංස්කෘතික යන ක්ෂේත්‍ර කිහිපයක පමණක් වන අතර එම සබඳතා තවදුරටත් පුළුල් කරමින් ඉදිරියට ගෙන යාම පිළිබඳව ද නායකයෝ සාකච්ඡා කළහ.

වසර 43 කට පසුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකුට හිමි වූ මෙම නිල ආරාධනය සමස්ත ශ්‍රී ලාංකිකයින්ටම ලැබුණු ගෞරවයක් බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථීක, වෙළඳ සහයෝගය ලබාගැනීමට ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් මහතා සමග පැවති සාකච්ඡාවල ප්‍රතිඵල ඉදිරියේදී ශ්‍රී ලාංකික ජනතාවට ලැබෙනු ඇති බව ද සඳහන් කළේය.

අද නව සංවර්ධනයේ මං පෙත් සොයා යන ශ්‍රී ලංකාව සියලූ මිත්‍රශීලී රාජ්‍යවල සහය එම සංවර්ධන වැඩපිළිවෙළ සඳහා අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිතුමා වසර 43 කට පසු සමීප මිතුරෙකු බවට පත්වූ රුසියාව නොමසුරුව ශ්‍රී ලංකාවට එම අතහිත ලබාදෙනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

අමාත්‍යවරුන් වන මංගල සමරවීර, එස්.බී. නාවින්න, මහින්ද සමරසිංහ, සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් අමරතුංග, දයාසිරි ජයසේකර යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා දූත කණ්ඩායම ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

04 (23)

 

 

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය