01

ලබන මැයි මාසයේදී ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින උළෙලට සමගාමීව ඉදිකිරීමට යෝජිත බෞද්ධ විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම් සදහා සහය දැක්වීමට ජාත්‍යන්තර පුණ්‍යාධාර සංවිධානයක් වන 2-OR සංවිධානය කැමැත්ත පළ කරයි.එහි සභාපති, ඕස්ටේ‍්‍රලියානු පෙරදිග ගුවන්විදුලි හා රූපවාහිනි සමාගමේ සභාපති Jun Hong Lu මහතා ඇතුළු නියෝජිත පිරිසක් අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේදී මේ බව සදහන් කළහ.

ශී‍්‍ර ලංකාවේ බෞද්ධාගමික කටයුතුවල දියුණුව සදහා තම සංවිධානය මගින් ලබාදිය යුතු දායකත්වය පිළිබද මෙහිදී නියෝජිත පිරිස ජනාධිපතිතුමාගේ උපදෙස් විමසූ අතර තම සංවිධානය ලොව පුරා රටවල් 40 ක බෞද්ධ සුබසාධන සංවිධාන සමග සම්බන්ධව කටයුතු කරන බවත්, තම අරමුණ බුදු දහම ලොව පුරා පැතිරවීම සදහා කි‍්‍රයාකිරීම බවත් සදහන් කළහ.එමෙන්ම විශේෂයෙන් තරුණ පරපුර අතර බුදු දහම ව්‍යාප්ත කරමින් ඔවුන් ආධ්‍යාත්මික වශයෙන් උසස් මට්ටමට ගෙන ඒම තම සංවිධානයේ ප‍්‍රමුඛ අරමුණක් බව ද කියා සිටියහ.
මෙහිදී ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ තම රජයේ අරමුණ ද බුදු දහමේ ආභාෂය තුළින් යහපත් මෙන්ම විනයගරුක තරුණ පරපුරක් ගොඩනැගීම බවයි.

පොළොන්නරුව කෞතුකාගාරයේ ඉදිකිරීම් සදහා අනුග‍්‍රහය දැක්වීමට ද මෙහිදී Jun Hong Lu මහතා කැමැත්ත පළ කළ අතර ඒ පිළිබදව ද ජනාධිපතිතුමා සිය ස්තූතියි පිරිනැමීය.

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය