13

රජයේ ඉදිරි අධ්‍යාපන සැළසුම් තුළ විශ්ව විද්‍යාලයෙන් පිටවන කිසිදු උපාධිධාරියෙකුට රැකියා ඉල්ලා උද්ඝෝෂණ කිරිමට සිදු නොවන බව ජනාධිපතිතුමා පවසයි.

විශ්ව විද්‍යාලයෙන් පිටවන තරුණයා වටිනාකමකින් යුත් පුරවැසියෙක් ලෙස සමාජයට දායාද කෙරෙන වැඩපිළිවෙල නව අධ්‍යාපන සැළසුම් තුළ අන්තර්ගත බවද ජනාධිපතිතුමා පැවසීය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට අද (24) පෙරවරුවේ එක් වෙමිනි.

රටේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරමින් ඉදිරියට යන ලෝකය සමග අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කළ යුතු සියලූ සංශෝධන සිදු කරන බවද ජනාධිපතිතුමා පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන ඉලක්කය බවට අද පාසල් දරුවන් පත්ව ඇති අතර රටේත්, ජාතියේත් අනාගතය විනාශ කරන ඔවුන්ගේ එම අශිලාචාර උත්සාහය පරාජය කිරිමට රජයක් ලෙස ගත හැකි සෑම පියවරක්මන් ගන්නා බවද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

රටේ සියලූ ජාතින් අතර සාමය සහ සංහිදියාව ගොඩනංවා යහපාලනයකින් යුත් රාජ්‍ය පාලනයක් රට තුළ ඇති කරන අතරම රටේ ජනතාව මත්ද්‍රව්‍ය උවදුරින් බේරා ගැනීමටද රජය ප්‍රමුඛත්වයක් දී කටයුතු කරන බව පැවසූ ජනාධිපතිතුමා විධිමත් පරිසර සංරක්ෂණ වැඩපිළිවෙලක් සේම අපේ කමට වැඩි වටිනාකමක් ලබා දෙන ආර්ථීක වැඩපිළිවෙලක් රට තුළ කි්‍රයාත්මක කරන බව පැවසීය.

අද පෙරවරුවේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් හරසරින් යුතුව පිළිගෙන විද්‍යාලය වෙත කැදවාගෙන යනු ලැබීය.

ශිෂ්‍ය භට බලකායේ විශේෂ උත්තමාචාරයක්ද ජනාධිපතිතුමා වෙනුවෙන් පිළිගැන්විනි. විද්‍යාලයේ අභිනව බුද්ධ මන්දිරය වෙත මල් පහන් පූජා කළ ජනාධිපතිතුමා විද්‍යාලයේ ආදි සිසු රණවිරුවන් සිහිපත් කිරීම වෙනුවෙන් ඉදිකර ඇති රණවිරු ස්මාරකයටද පුෂ්පෝපහාර දැක්වීය.

අනතුරුව ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වූ අතර එහිදි වාණිජ්‍ය, ගණිතය සහ විද්‍යා අංශවලින් 2014 වසරේ විශිෂ්ටතා දැක්වූ දරුවන් 25 දෙනෙකුට ජනාධිපතිතුමා අතින් තිළිණ ප්‍රදානය කෙරිනි.

එමෙන්ම විශිෂ්ට සේවාවක් ඉටු කරන ගුරු භවතුන්ද ඇගයීමට ලක් විය. 2014 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ දරුවන්ද ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.

විදුහල්පති බී.එන්.එල්.පී. දිසානායක මහතා ඇතුලූ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් , ආදි සිසුන් ඇතුලූ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

17 16 12 11 10 09 08 06 05 03 02

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය