07

රටක් ජයග‍්‍රහණය කරා මිස කිසිඳු අවස්ථාවක පරාජය කරා ගමන් නොකළ යුතු බව අවධාරණය කරන ජනාධිපතිතුමා අද දවසේ ඉටුකිරීමට නොහැකි වූ දේ හෙට දවසේ රට සහ ජනතාව වෙනුවෙන් ඉටුවිය යුතු බව අවධාරණය කරයි.

“පිබිදෙමු පොළොන්නරුව” දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ සිදු කෙරුණු සංවර්ධන කාර්යයන් රැසක් ජනතා අයිතියට පවරාදීම සහ ප‍්‍රතිලාභ බෙදාදීම අද (01) දිනය පුරා ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර පොළොන්නරුව මහ රෝහලේ විවෘත කිරීම් රැසකින් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ රට වශයෙන් ඉටුකළ කාර්යභාරයට ප‍්‍රමුඛත්වය ලබාදුන්නා සේම පොළොන්නරුවට සංවර්ධනයේ සාධාරණයක් ඉටුකිරිමට තමා ගත් වෙහෙස අද මල් ඵල ගැන්වී තිබෙන බවයි.

පොළොන්නරුව සංවර්ධනයට තමාට සියලූදෙනාගෙන් ලැබුණු සහය රට වශයෙන්ම ගෙන ගිය වැඩපිළිවෙළට ද හිමිවූවානම් අද රට ද පුළුල් වෙනසකට ලක්ව තිබෙනු ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මාධ්‍ය නිදහස සමඟ රට සහ ජනතාව වෙනුවෙන් සුවිශේෂ වැඩකොටසක් තම පස් වසරක ධූර කාලය තුළ ඉටු කිරීමට හැකි වුව ද තමා රටත් ජනතාවත් වෙනුවෙන් තැබූ අපේක්ෂාවන්ගේ සහ අධිෂ්ඨානයන්ගේ අවසානය කරා ළගාවීමට බොහෝ බාධාවන් මතු වූ බව ද කියා සිටියේය.

තම ප‍්‍රතිපත්තිවලට සහ දර්ශනයට ගැළපෙන මෙන්ම අදහස්වල එකඟවන පිරිසක් වගකීම් දැරුවානම් ඉකුත් පස් වසර තුළ රට සහ ජනතාව වෙනුවෙන් මීට වඩා බොහෝ කාර්යයන් ඉටුකිරීමට හැකිව තිබු බවද ජනාධිපතිතුමා කියා සිටියේය.

රාජ්‍ය සේවකයන් වෙනුවෙන් පොළොන්නරුව නගරයේ ඉදිවූ සියලූ පහසුකම් සහිත නිල නිවාස සංකීර්ණය අද විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතිනි.

රුපියල් මිලියන 97කට අධික වියදමක් දරමින් ඉදිකෙරුණු පොළොන්නරුව නව පොලිස් අධිකාරි කාර්යාලය ඉන් අනතුරුව ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ හසිනි වාසනා සෙව්වන්දි දැරියගේ “මණ්කඩ රූ රටා 2019” සිතුවම් දැක්ම හා ග‍්‍රන්ථ එළිදැක්වීමේ උත්සවයට අනතුරුව ජනාධිපතිතුමා සහභාගී විය.

පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන හසිනි වාසනා සෙව්වන්දි දැරියට නව නිවසක් ලබාදීමට ද ජනාධිපතිතුමා කටයුතු කර තිබූ අතර ඊට උපහාර දක්වමින් මෙම උලෙළ සංවිධානය කර තිබුණු අතර එම දැරිය විසින් රචනා කරන ලද චිත‍්‍ර කතා පොත් 12ක් ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

සමස්ථ ලංකා බර එසවීමේ ශූරතාවය දිනාගත් විද්‍යාලයේ දරුවන්ට ත්‍යාග සහ සහතික පත් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

විදුහල්පති රවීලාල් විජේවංශ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පොළොන්නරුව සීවලී ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ විශේෂ අධ්‍යාපන ඒකකය සඳහා ඉදිකෙරුණු අංග සම්පූර්ණ පන්ති කාමර ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඉන් අනතුරුව ජනාධිපතිතුමා එක්විය. පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 7.9 කි.

රුපියල් මිලියන 63ක වියදමින් ඉදිකෙරුණු කදුරුවෙල සිව් මහල් තැපැල් සංකීර්ණ ගොඩනැඟිල්ල ඉන් අනතුරුව ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

පොළොන්නරුව මහ රෝහලේ සිදු කෙරුණු සංවර්ධන කටයුතු ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරුණේ ඉන් අනතුරුවයි.

ඒ අනුව පොළොන්නරුව මහ රෝහලේ නව අක්ෂි සායන ගෙඩනැඟිල්ල, කී‍්‍රඩා වෛද්‍ය හා ශරිර සුවතා මධ්‍යස්ථානය, විශේෂඥ වෛද්‍ය නිල නිවාස සංකීර්ණය, ඇඳන් 120කින් සමන්විත නව ශල්‍ය වාට්ටු සංකීර්ණය, ඇඳන් 120කින් යුත් නව වාට්ටු සංකීර්ණය, හදිසි අනතුරු ප‍්‍රතිකාර සංකීර්ණය,මෙන්ම අධ්‍යක්ෂ/ නියෝජ්‍ය අධ්‍යක්ෂ/ විශේෂඥ වෛද්‍ය නිල නිවාස විවෘත කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

බාහිර රෝගී අංශයේ රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය විවෘත කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණු අතර ජනාධිපතිතුමා එම පද්ධතියේ ලියාපදිංචි කිරීම සහ පළමු සෞඛ්‍ය තොරතුරු අංකන කාඞ්පත ජනාධිපතිතුමා වෙත නිකුත් කිරීම ද සිදු කෙරිණි.

එමෙන්ම සත්කාරක සේවා පිළිබඳ රෝගී තෘප්තිමත්භාවය මැනීම සඳහා වන Digital Customer Satisfaction සමීක්ෂණ පද්ධතිය කි‍්‍රයාත්මක කිරීම ද සිදු වූ අතර පොළොන්නරුව දිස්ති‍්‍රක් මහ රෝහලේ රෝහල් පරිපාලන තොරතුරු හුවමාරුව විවෘත කිරීම සහ පුස්තකාල ස්වයංකී‍්‍රය පද්ධතිය දියත් කිරීමත්, රෝහල් සෞඛ්‍ය තොරතුරු පද්ධතිය E channeling සේවාවට සම්බන්ධ කිරීමත් සිදු කෙරිණි.

ආණ්ඩුකාර සරත් ඒකනායක, නගරාධිපති චානක සිදත් රණසිංහ යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිළදාරින් පිරිසක් ජනාධිපතිතුමා සමඟ මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

පොළොන්නරුව මහ රෝහලේ සංවර්ධන කටයුතු රැසක් ජනපති අතින් ජනතා අයිතියට …
01

02

03

04

05

06

08

09

10

11

12

13

14

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය