01

රටත්, ජනතාවත් වෙනුවෙන් ඕනෑම අභියෝගයක් ජයග්‍රහණය කරන බව ජනාධිපතිතුමා පවසයි.

තමන් ජනාධිපති ධූරයට පැමිණියේ එම අභියෝගවලට මුහුණදීමට බවද පැවසූ ජනාධිපතිතුමා කිසිදු අභියෝගයක් හමුවේ නොසැළී ඉදිරියට යාමට තමාට ශක්තිය ඇති බවද ප්‍රකාශ කළේය.

ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ මාවනැල්ල, උස්සාපිටිය අරණායක රිවිසඳ මධ්‍ය විද්‍යාලයේ නව තාක්ෂණ විද්‍යාපීඨය සිසු අයිතියට පවරාදීමේ උත්සවයට අද (02) පෙරවරුවේ එක්වෙමිනි.

අද පෙරවරුවේ විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමාව සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගෙන විද්‍යාලය වෙත  කැදවාගෙන යනු ලැබීය.

සමරු ඵලකය නිරාවරණය කර නව තාක්ෂණ විද්‍යා පීඨය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ  චාරිකාවකද නිරතවිය.

නැණසල දුරස්ථ අධ්‍යාපන මධ්‍යස්ථානය, නව ගණිතාගාරය, භාෂාගාරය, තොරතුරු හා තාක්ෂණ විද්‍යාගාරය එහිදී ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්වූ අතර ජනාධිපතිතුමා එහි සිසු දරුවන් සමග සුහද කථා බහකද නිරත විය.

අනතුරුව පැවතී උත්සව සභාව අමතමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ දිවයිනේ සියලූ පාසල්වල මූලික අවශ්‍යතා  සපුරාලීමට ප්‍රමුඛ අවධානයක් යොමු කර කටයුතු කරන බවයි.

සනීපාරක්ෂක පහසුකම් පවා නොමැති පාසල් රැසක් පිළිබද වාර්තා වී තිබේ. එම පාසල් පිළිබද සොයා බලා දරුවන්ට අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය මුලික පහසුකම් සපුරාලීමේ කඩිනම් වැඩපිළිවෙලක් කි්‍රයාවට නංවන බවද ජනාධිපතිතුමා පැවසීය.

ජාතික අධ්‍යාපන සැළසුම් තුළ නිපුණතා අධ්‍යාපනයට ප්‍රමුඛතාවයක් ලබාදිය යුතු බවත් අද ලෝකයේ බොහෝ රටවල් ඉහළ දියුණුවක් ලබා ඇත්තේ විධිමත් නිපුණතා අධ්‍යාපනයක් තුළින් බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

එමෙන්ම සමාජයේ මහා ඛේදවාචකයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය උවදුර නිවාරණයට සහ පරිසර සංරක්ෂණය පිළිබද  පාසල් දරුවන් දැණුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙලක් ඉදිරි සති කිහිපය තුළ කි්‍රයාවට නංවන බවද ජනාධිපතිතුමා පැවසීය.

අපේ රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපේ රටේම නිෂ්පාදනය කර ගැනීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ඉදිරි මහා  මැතිවරණයෙන් පසු අරඹන බවද කියා සිටියේය.

හිටපු වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක, පළාත් සභා මන්ත්‍රී ආනන්ද මිල්ලන්ගොඩ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටී අතර විදුහල්පතිතුමා ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

15 14 12 11 09 08 07 06 04

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය