01

රටේ ජනාධිපතිවරයා ලෙස තමාට පක්ෂ, පාට බේද නොමැති බව පැවසූ ජනාධිපතිතුමා රටත්, ජනතාවත් වෙනුවෙන්  සේවය කරන සියලූම මහජන නියෝජිතයින්ට පක්ෂ බේද නොතකා අවශ්‍ය සෑම සහයක්ම ලබා දෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා  ප්‍රකාශ  කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ගාල්ල, නෙළුව ජාතික පාසලේ නව ශ්‍රවණාගාරය අද (19) පෙරවරුවේ සිසු අයිතියට පවරාදීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමිනි.

ගාල්ල, නෙළුව වැනි ඉතා දුෂ්කර ප්‍රදේශයක් අද පැහැදිළි සංවර්ධනයකට ලක්ව ඇත්තේ සියලූ මහජන නියෝජිතයින් පක්ෂ, පාට බේද නොතකා එක්ව කටයුතු කිරිම නිසා බවද පෙන්වා දුන් ජනාධිපතිතුමා ඔවුන් සියලූදෙනාට අවශ්‍ය පහසුකම් ලබාදීමට ජනාධිපතිවරයා ලෙස තමා කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.

අද පෙරවරුවේ ගාල්ල නෙළුව ජාතික පාසල වෙත ගිය ජනාධිපති මෛති්‍රපාල සිරිසේන මැතිතුමා එහි සිසු දරුවන් විසින් මහත් හරසරින් යුතුව පිළිගෙන විද්‍යාලය වෙත කැඳවාගෙන යනු ලැබීය.

සමරු ඵලකය නිරාවණය කර නව තෙමහල් ගොඩනැඟිල්ල සහ තාක්ෂණ පීඨය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා තාක්ෂණ පිඨයේ නිරික්ෂණ චාරිකාවක නිරත වෙමින් සිසු දරුවන් සමඟ සුහද කථා බහකද නිරත විය.

අනතුරුව පැවති උත්සව සභාව අමතමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ නව අධ්‍යාපන සැළසුම් තුලින් මේ රටේ නිදහස් අධ්‍යාපනයේ නව පරිවර්තනයක් ඇති කිරීමට නව රජය ලෙස අපේක්ෂා කරන බවයි.

රැකියා ඉල්ලා පෙළපාලි යන උපාධිධාරින් අද රට තුල බිහිවී ඇත්තේ අපගේ අධ්‍යාපන ක්‍රමයේ පවතින අඩු පාඩු නිසා බවද ප්‍රකාශ කළ ජනාධිපතිතුමා තාක්ෂණික ලෝකයට සහ වේගයෙන් සංවර්ධනය වන සමාජයට අවශ්‍ය දැණුම, අවබෝධය සහ අත්දැකීම් සමඟ අපේ අධ්‍යාපන ක්‍රමයේ සිදුවිය යුතු වෙනස්කම් සිදුකිරීමට නව රජය ලෙස කඩිනමින් කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.

මීට වසර 108 කට පෙර 1907 වසරේදී මහබෝධි මිශ්‍ර පාසලක් ලෙස සිසුන් 06 දෙනෙකුගෙන් ආරම්භ වූ නෙළුව  ජාතික පාසල 1999 වසරේදී ජාතික පාසලක් බවට පත් කෙරුණු අතර අද වන විට පළාතේ දරුවන්ගේ නැණ ගුණපාදන්නට පුළුල් මෙහෙවරක් ඉටු කරන සුවිශේෂි පාසලක් බවට පත්ව ඇත.

විද්‍යාලය ලබා ඇති දියුණුවද මෙහිදී අගය කළ ජනාධිපතිතුමා එහි ඉතිරි අඩු පාඩු සපුරාදිමට කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.

අමාත්‍ය පියසේන ගමගේ, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් ද විද්‍යාලයේ විදුහල්පති ටී.කේ. ප්‍රේමදාස මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

15 14 13 10 08 04 02

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය