15

දේශපාලන බලය ලබාගැනීම උදෙසා ඇතැමුන් පෞද්ගලික න්‍යාය පත‍්‍ර අනුව කටයුතු කරමින් සිටින අතර, එහිදී රටේ ප‍්‍රශ්න විසඳීම හෝ ජාතික සමගිය සහ සංහිඳියාව ශක්තිමත් කිරීම ඔවුන්ට වැදගත් නොවන බව ජනාධිපතිතුමා පවසයි.

රට ගැන නොසිතා දේශපාලන බලය ගැන පමණක් සිතන මෙම පිරිස් ජනතාව විසින් හඳුනාගත යුතු බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ යාපනය, ශාන්ත පැටි‍්‍රක් විද්‍යාලයේ නව තාක්ෂණික ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ හා උපාධිධාරි ගුරු පත්වීම් ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට අද (19) පෙරවරුවේ එක්වෙමිනි.

2015 ජනවාරි 08 වනදා මේ රටේ ජනතාව තමා කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අවස්ථාවක කඩ නොකළ අතර, එම ප‍්‍රතිපත්ති ද වෙනස් කර නොමැති බව පැවසූ ජනාධිපතිතුමා, කෙතරම් විරුද්ධ දේශපාලන බලවේග පැමිණිය ද ඉදිරියේදී ද එම ප‍්‍රතිපත්තිවල කිසිදු වෙනසක් සිදු කිරීමට සූදානම් නොමැති බව අවධාරණය කළේය.

රටේ ප‍්‍රශ්න විසඳමින් ඉදිරි අභියෝග ජය ගැනීම සඳහා අවංක දේශපාලනඥයින්ගේ එකතුවක් රටට අවශ්‍ය අතර, රටට ආදරයෙන් කටයුතු කරන්නැයි තමා සියලූ දේශපාලන ප‍්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

අද පෙරවරුවේ යාපනය, ශාන්ත පැටි‍්‍රක් පෞද්ගලික විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් හරසරින් යුතුව පිළිගෙන විද්‍යාලය වෙත කැඳවාගෙන යනු ලැබීය.

අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර නව තාක්ෂණික මධ්‍යස්ථානය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

ඉන් අනතුරුව පැවති උත්සව සභාවේ දී උතුරු පළාතේ උපාධිධාරින් 197 දෙනෙකුට ගුරු පත්වීම් ප‍්‍රදානය සංකේතවත් කරමින් 10 දෙනෙකුට පත්වීම් ප‍්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

මෙහිදී සිසු දරුවන් ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ රටක ප‍්‍රශ්න විසඳාගැනීමේදී ඉතා වැදගත් වන්නේ එම රටේ ජනතාවට හොඳ අධ්‍යාපනයක් ලබාදිම බවයි.

උගතුන් වැඩිවීමත් සමග රටක ප‍්‍රශ්න අඩුවන අතර එබැවින් රටේ සහ ජාතියේ අනාගතය වෙනුවෙන් රාජ්‍ය සහ රාජ්‍ය නොවන අධ්‍යාපන ආයතනවලද ප‍්‍රධාන වගකීමක් වන්නේ ජනතාවට අවශ්‍ය දැනුම ලබාදීම බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරනවා මිස එය කිසිදු අවස්ථාවක සීමා කිරීමට කටයුතු නොකරන අතර නව අධ්‍යාපන ප‍්‍රතිපත්ති තුළද කටයුතු කිරීමේ වගකීම ඉටුකරන බව පැවසූ ජනාධිපතිතුමා වත්මන් රජයේ නව අධ්‍යාපන ප‍්‍රතිපත්ති හා සැලසුම් තුළ උපාධිධාරින්ට රැකියා නොමැතිව උද්ඝෝෂණය කිරීමට සිදුවන ක‍්‍රමය වෙනස්කර තිබෙන බව ද කියා සිටියේය.

තාක්ෂණ විෂයන් සහිත උපාධිධාරින්ට ජපානයේ රැකියා අවස්ථා රැසක් අද උදා වී තිබෙන අතර ඒ සඳහා ශ‍්‍රී ලාංකික උපාධිධාරින් යොමු කිරීම සඳහා තමා පසුගියදා සිදුකළ ජපාන සංචාරයේදී ජපාන අග‍්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා පැවැත්වූ බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, යාපනය රදගුරු අතිඋතුම් ජස්ටින් ඥානප‍්‍රගාසම් හිමිපාණන් ප‍්‍රමුඛ හිමිපාණන් වහන්සේලා ද, විපක්ෂනායක ආර්. සම්බන්ධන්, උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන අංගජන් රාමනාදන්, මාවෙයි සේනාධිරාජා යන මහත්වරුන් සහ විද්‍යාලයේ විදුහල්පති තිරුමහන් පියතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර උතුරු පළාත් ප‍්‍රධාන සංඝ නායක, යාපනය ශ‍්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මිගහජදුරේ ඥානරත්න ස්වාමින් වහන්සේ අපවත්වීමෙන් තෙමසක් සම්පූර්ණවීම නිමිත්තෙන් ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලා සහ දායක සභාව මෙන්ම යාපනය සර්ව ආගමික එකමුතුව විසින් සංවිධානය කළ දානමය පුණ්‍ය කර්මයට ද ජනාධිපතිතුමා එක් විය.

01

03

04

05

07

08

09

12

13

14

15

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය