01

එදා ජාතික නිදහස් අරගලයේදී මේ රටේ සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ සියලූ නායකයින් සහෝදරත්වයෙන් කටයුතු කරමින් තම යුග මෙහෙවර ඉටු කළා සේම අද දවසේ රට සංවර්ධනය කරා ගෙන යමින් රට ගොඩනැගීමේ යුග මෙහෙවර ඉටුකිරීම සදහා ද සියලූ දෙනා සහෝදරත්වයෙන් එක්විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මුස්ලිම් ආගමික කටයුතු හා සංස්කෘතික දෙපාර්තමේන්තුවට අයත් නව මුස්ලිම් සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද (17) පස්වරුවේ එක්වෙමිනි.

කොළඹ, ටී.බී. ජයා මාවතේ ඉදිකෙරුණු මෙම සංස්කෘතික මධ්‍යස්ථානය සියලූ පහසුකම්වලින් සමන්විතව ඉදිකර තිබේ.මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ මීට වසර දෙකකට පෙර තමා මේ රටේ ජනාධිපතිවරයා ලෙස තෝරාපත් කරගත්තේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජනතාව එක්ව බවයි. නැවත යුද්ධයක් ඇතිවීම වළක්වා සියලූ ජනතාවට සහෝදරත්වයෙන් ජීවත්විය හැකි රටක් ගොඩනැගීමේ වගකීම අද තමා ප‍්‍රමුඛ වත්මන් රජය ඉටු කරමින් සිටින බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.මේ පිළිබද ආණ්ඩුවට විරුද්ධ බලවේග විසින් වැරදි අර්ථකථන ලබාදෙමින් ජාතීන් අතර අසමගිය වැපිරවීමට කටයුතු කරන බව පැවසූ ජනාධිපතිතුමා මෙම අන්තවාදී බලවේගයන්ට ඉඩ නොතබා රටේ ජාතික සමගිය ආරක්ෂා කර ගැනීමට සියලූ ආගමික නායකයින් අවබෝධයෙන් කටයුතු කළයුතු බව ද ප‍්‍රකාශ කළේය.

සමරු ඵලකය නිරාවරණය කර නව සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිල වෙබ් අඩවිය ද විවෘත කළේය.
තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම් මහතා විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

මහා සංඝරත්නය ප‍්‍රමුඛ ආගමික පූජකතුමන්ලා ද අමාත්‍ය රිෂාඞ් බදුර්දීන්, රවුෆ් හකීම්, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරු පිරිසක් සහ තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඞී.පී.එම්.වී. හපුආරච්චි මහතා ඇතුථ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

08

02

05

06

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය