02

රාජ්‍ය අංශය ශක්තිමත් කිරීම සේම සියලූ ක්ෂේත්‍රයන් තුළ පෞද්ගලික අංශයද නගා සිටුවීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව ජනපති පවසයි.

ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඩයලොග්  ආසිආටා සමාගමේ නව ගොඩනැගිල්ල අද (07) පෙරවරුවේ විවෘත කරමිනි.

කොළඹ 10, යුනියන් පෙදෙස ඩයලොග් මූලස්ථාන පරිශ්‍රයේ නව ගොඩනැගිල්ල ස්ථාපිත කර තිබේ.

සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ නව ගොඩනැගිල්ල ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණු අතර නව තාක්ෂණය  ඔස්සේ සැදුම් ලද කාර්යාල පද්ධතියේ කටයුතු ආරම්භ කෙරුණේද ජනාධිපතිතුමා අතිනි.

එහි කටයුතු ආරම්භ කරමින් පළමුවෙන්ම දිඹුලාගල ආරණ්‍ය සේනාසනය සමග සජීවිව සම්බන්ධවීමට ජනාධිපතිතුමාට අවස්ථාව සළසා දුන් අතර දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩවෙසෙන පූජ්‍ය මාදුරුඔය විජිතාලංකාර ස්වාමින් වහන්සේ එහිදී ජනාධිපතිතුමා සමග සජීවිව සම්බන්ධ විය.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙල මෙහිදී  උන්වහන්සේගේ ප්‍රශංසාවට ලක් විය.

දැනට රෝගාතුරුව වැඩ වෙසෙන දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති හිමියන්ගේද සුවදුක් විමසූ ජනාධිපතිතුමා  උන්වහන්සේට ඉක්මන් සුවය ලැබේවායිද ප්‍රාර්ථනා කළේය.

අනතුරුව මැදිරිගිරිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දරුවන් පිරිසක් ජනාධිපතිතුමා සමග සජීවිව සම්බන්ධ විය.

දුෂ්කර පාසල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නංවාලීමට නව රජය ගෙන ඇති ඉදිරි ක්‍රියායාමාර්ග කුමක්දැයි එහි දැරියක ඇසු ප්‍රශ්ණයට පිළිතුරු දුන් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ග්‍රාමීය දරුවන්ට ඉහළ අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුළුල් පරිවර්තනයක් ඉදිරියේදී සිදු කරන බවයි.

එමෙන්ම රටේ දරුවන්ගේ ආරක්ෂාව පිළිබද ගෙන ඇති පියවර කුමක්දැයිද එහි සිසුවෙකු ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්ණ කළේය.

විශාල සමාජ උවදුරක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය උවදුරෙන් රටේ දරුවන් නිදහස් කර ගැනීම තම රජයේ ප්‍රමුඛ වගකීමක් සේ සළකා ඉටු කරන අතරම දරුවන්ට ලබාදිය යුතු සියලූ රැකවරණයන් සැළසීමට රජය කැපවී සිටින බව  ජනාධිපතිතුමා එහිදී ප්‍රකාශ කළේය.

විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍යවරුන් වන මංගල සමරවීර, නවීන් දිසානායක, දුමින්ද දිසානායක,  ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් ද ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන, කොළඹ  නගරාධිපති එම්.අයි.එම් මුසම්මිල්, ඩයලොග් සමාගමේ ප්‍රධාන විධායක ආචාර්ය හැන්ස් විජේසුරිය යන මහත්වරුන් ඇතුලූ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

10 09 07 06 04 03 01

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය