Presidential Media Unit Default Banner

අයිතිවාසිකම් සහ වරප‍්‍රසාද පිළිබඳ මෙම ආයතන දෙක අතර ගැටුම්කාරී තත්වයක් ඇතිවුවහොත් ඉන් පීඩාවට පත්වන්නේ ප‍්‍රතිලාභ ලබන ජනතාව බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ අද (30) පෙරවරුවේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ පැවති පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ අධ්‍යාපන ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීම පිළිබඳ වැඩසටහනකට එක්වෙමිනි.

කුමන ආණ්ඩුවකට වුවද කුමන දේශපාලනඥයෙකුට හෝ රාජ්‍ය නිලධාරියෙකුට වුවද රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව සැකසී ඇති ආයතන ව්‍යුහය තුළ සුහදතාවයෙන් සහ එකඟතාවයෙන් යුතුව කටයුතු කිරීමේ වගකීම පැවරෙන බව ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

මෙම හමුව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේ ජාතියේ දරුවන් උගතුන් කිරීමේ වගකීම ඉටුකිරීමේදී සියලූදෙනා සාමුහිකත්වයෙන් සහ අවංක කැපවීමෙන් යුතුව වගකීම් ඉටුකළයුතු බවයි. අධ්‍යාපන ක්ෂේත‍්‍රයට අවශ්‍ය සම්පත් ලබාදෙනවා සේම දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් සහ සදාචාරවත් සමාජයක් සඳහා නිසි මඟපෙන්වීමක් ලබාදීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා පැහැදිළි කළේය.

පොළොන්නරුව දිස්ති‍්‍රක්යේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සංවර්ධනය, ප‍්‍රගතිය, ගැටලූ සහ අභියෝග මෙන්ම අඩුපාඩු හඳුනාගනිමින් හෙට දවසේ වඩා ගුණාත්මක මෙන්ම උසස් ප‍්‍රමිතියකින් යුතු අධ්‍යාපනයක් දරුවන්ට ලබාදීම අරමුණු කර ගනිමින් මෙම හමුව කැඳවා තිබුණි.

දරුවන්ගේ අධ්‍යාපනික දැනුම වර්ධනය කිරීම මෙන්ම සදාචාර සම්පන්න යහපත් දරු පිරිසක් ගොඩනැගීම සඳහා දිස්ති‍්‍රක්කය තුළ කි‍්‍රයාත්මක කෙරෙන වැඩසටහනේ ආරම්භය ලෙස මෙය හැදින්විය හැකි බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා ඉදිරියේදී මාස තුනකට වරක් මෙවන් හමුවීම් පවත්වමින් මෙම වැඩසටහන ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමට අදාළ අංශවලට උපදෙස් දුන්නේය.

පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ප‍්‍රගතිය පිළිබඳ මෙහිදී කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් ඉදිරිපත් කිරීමක් සිදු කළ අතර දිස්ති‍්‍රක්කයේ පාසල්වල විභාග ප‍්‍රතිඵල සාධනය පිළිබඳ විග‍්‍රහයක් ද සිදු කෙරිණි.

අධ්‍යාපන නිලධාරින්, අධ්‍යාපන උපදේශකවරුන් සහ විදුහල්පතිවරුන් විසින් මෙහිදී දිස්ති‍්‍රක්කයේ අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ පවතින ගැටලූ පිළිබඳ කරුණු ඉදිරිපත් කරනු ලැබූහ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරචිචි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය