01 (9)

අද ලෝකයේ තිඛෙන ප්‍රශ්න හා ගැටලූ සඳහා විසඳුම් සෙවීමේදී ආධ්‍යාත්මික නායකයින් විසින් කරනු ලැබූ මගපෙන්වීම් ඉතා වැදගත් බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක උත්සවයට අද (27) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී එක් වෙමිනි.

“ඉස්ලාමීය යථාර්ථය සහ කාලීන අභියෝග” යන තේමාව යටතේ දෙදිනක් පුරා කොළඹදී පැවැත්වෙන මෙම සමුළුව සඳහා මැදපෙරදිග මුස්ලිම් රටවල සහ ආසියානු රටවල නියෝජිතයෝ සහභාගී වී සිටිති.

සියලූ ජාතීන් හා ආගම් සමග එක්ව, සියලූ මානව අයිතිවාසිකම්වලට ගරු කරමින් සුහදත්වයෙන් ලෝක ප්‍රජාව සමග කටයුතු කිරීමේ පණිවිඩය ලොවට ලබාදෙමින් ශ්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානය විසින් මෙම සමුළුව සංවිධානය කරනු ලබයි.

සමුළුවේ සමාරම්භක අවස්ථාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ අප සෑම කෙනෙක්ම එකම රටක එකම ශ්‍රී ලාංකිකයින් ලෙස ජීවත්වීමට අධිෂ්ඨාන කරගන්නේ නම් අප අපේක්ෂා කරන සාමකාමී සමාජය ගොඩනැගීම අපහසු නොවන බවයි.

අද කථාකරන සංහිඳියාව යථාර්ථයක් බවට පත්කරගත හැක්කේ, තමන්ගේ මෙන්ම අන් අයගේ ද අයිතිවාසිකම් සහ වරප්‍රසාදවලට ගරු කිරීම තුළින් බව මෙහිදී පෙන්වාදුන් ජනාධිපතිතුමා රට තුළ ස්ථීරසාර සාමයක් අතිකරගනිමින් සියලූ ජාතින් අතර සහෝදරත්වය සහ සංහිඳියාව ශක්තිමත් වූ එකම රටක් ගොඩනැගීමට අප කැප විය යුතු බව ද කියා සිටියේය.

මිනිසා බලය සහ ධනය සඳහා සටන් කිරීමේ අවසන් ප්‍රතිඵලය වන්නේ මිනිසෙක් විසින් තවත් මිනිසෙක් විනාශ කිරීම බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

ලෝකයේ යුද ගැටුම් වැළැක්වීමට අප සාකච්ඡා කළ යුත්තේ යුද්ධය කරන පිරිස් සමග නොව, යුද්ධයට අවශ්‍ය අවි ආයුධ නිෂ්පාදනය කරන්නන් සමග බව තමා විශ්වාස කරන බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා තමන්ගේ රට තුළ අවි ආයුධ නිෂ්පාදනය වැළැක්වීමට සෑම රාජ්‍යයකටම හැකිනම් ලෝක සාමය ඇතිකිරීම සඳහා ගනු ලබන වැදගත්ම පියවර වන්නේ එය බව ද කියා සිටියේය.

කථානායක කරූ ජයසූරිය, අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම්, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, ශ්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානයේ සභාපති හුසේන් මොහොමඩ් යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

02 (10) 03 (6) 04 (6) 05 (4) 06 (2)

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය