04

අපෙන් ගිලිහී යන අපට උරුම දේශීය ආහාර සංස්කෘතිය යළි රට තුළ ප්‍රචලිත කරමින් විධිමත් දේශිය ආහාර නිෂ්පාදන ක්‍රියාවලියකට රට ගෙන යන බව ජනපති පවසයි.

මේ රටේ වගා කළ හැකි එහෙත් පිටරටින් ගෙන්වන සියලූ ආහාර ද්‍රව්‍ය නතර කර දමා රට ස්වයංපෝෂිත ආර්ථීකයක් කරා ගෙන යාම රජයේ අරමුණ බවද ජනාධිපතිතුමා පැවසීය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ දේශීය ආහාර නිෂ්පාදන වැඩසටහන පිළිබද ඊයේ (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.

පිටරටින් ගෙන්වන ආහාර සදහා වර්ෂයකට අප රුපියල් බිලියන 154 ක පමණ මුදලක් වැය කරයි. එලෙස ආනයනය කරනු ලබන ආහාර ද්‍රව්‍ය 38 න් පරිප්පු, කඩල ඇපල් ඇතුලූ අහාර ද්‍රව්‍ය 04 ක් හැර සෙසු සියලූ ආහාර වර්ග අපේ රටේම නිෂ්පාදනය කර ගැනීමට හැකියාව ඇත.

නිසි සැළස්මක් ඔස්සේ මෙම අරමුණ වෙත අප ළගා විය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිතුමා රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ සියලූදෙනා දායක කර ගනිමින් එම වැඩසටහන සක්‍රියව කි්‍රයාවට නංවිය යුතු බවද පෙන්වා දුන්නේය.

වසර 03 ක ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාවට නැංවීමටද ජනාධිපතිතුමා යෝජනා කළේය.

එහිදි සියලූදෙනා එක්ව සාකච්ඡා කර නිසි සැළසුම් සැකසිය යුතුය. ඒ සදහා සුදුසුම කාලය මෙම කාලය බව පැවසූ ජනාධිපතිතුමා මැති ඇමතිවරු දේශපාලන කටයුතුවල නිරතව සිටින මෙම සමයේ රාජ්‍ය නිළධාරින්ට එම කටයුතු සදහා වඩා ඉඩ කඩ සැකසී ඇති බවද පෙන්වා දුන්නේය.

එබැවින් එම සැළැස්ම සති 03 කින් තමා වෙත ඉදිරිපත් කරන ලෙසද උපදෙස් දුන් ජනාධිපතිතුමා එහිදි ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් සියුලදෙනාගේ අදහස් හා යෝජනා සැළකිල්ලට ගැනීමේ වැදගත්කමද පැහැදිළි කළේය.

ස්වයංපෝෂිත රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙළේදී ගොවි ජනතාව මුහුණ දී ඇති ගැටලූ හදුනා ගනිමින් ඒවාට විසදුම් ලබාදීම අත්‍යාවශ්‍ය වෙයි. ගොවි ජනතාව වෙනුවෙන් අවශ්‍ය සියලූ පහසුකම් නොඅඩුව සපුරාදීමට රජය කටයුතු කරන බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

භූමිය ප්‍රශස්ත අයුරින් භාවිතා කරමින් නිෂ්පාදන ඵලදායිතාවය වැඩි කර ගැනීම පිළිබද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර වගා නොකරන ඉඩම් වගා කිරීම අනිවාර්යය කිරීම පිළිබද ක්‍රමවේදයකට එළැඹිමේ අවශ්‍යතාවයද අවධාරණය කෙරිනි.

නිෂ්පාදන සැළසුම් සේම ගොවි ජනතාව දිරිගැන්වීමේ වැඩපිළිවෙලක අවශ්‍යතාවයද මෙහිදී ජනාධිපතිතුමා පැහැදිළි කළ අතර ජාතික වශයෙන් හොදම ගොවියා තෝරා ජනාධිපති සම්මාන ලබාදීම මෙන්ම කෘෂි සංස්කෘතිය සමග තිබෙන ජන විඥානය

හදුනා ගනිමින් විද්‍යාත්මක පදනමක් මත මෙන්ම වප් මගුල වැනි මහා සංස්කෘතික උරුමයන් සමග මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය.

ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුලූ අමාත්‍යාංශ ලේකම්වරුන්ද, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකොන් මහතා ඇතුලූ නිළධාරිහුද මීට එක්ව සිටියහ.

04

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය