01

තාක්ෂණික සහයෝගීතාවය වෙනුවෙන් ජර්මනියෙන් ශ්‍රී ලංකාවට
යුරෝ මිලියන 18 ක ආධාරයක් ….

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීමට ජර්මන් රජයෙන් ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බව ජර්මන් ආර්ථික කටයුතු අමාත්‍යවරයා ජනපතිට සහතික වෙයි.

ජර්මනියේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජර්මන් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය Gerd Muller මහතා අතර නිල හමුව අද (18) පැවත්වුණු අතර එහිදී ආර්ථික කටයුතු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර ජර්මනිය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතාවය වැඩිදියුණු කෙරෙන ගිවිසුම් දෙකකට ද මෙම හමුවට පෙර අත්සන් තැබිණි.

තාක්ෂණික සහයෝගිතාවය වෙනුවෙන් ජර්මනියෙන් යුරෝ මිලියන 18 ක ( රුපියල් මිලියන 2883 ක) ආධාරයක් මේ අනුව ශ්‍රී ලංකාවට හිමිවනු ඇත.

විල්පත්තුව ජාතික උද්‍යානය හා ස්වාරක්ෂක කලාප කළමනාකරණය සඳහා යුරෝ මිලියන 6 ක ආධාරයක් ඒ යටතේ සැපයෙන අතර උතුරු පළාතේ වෘත්තීය පුහුණුව සඳහා යුරෝ මිලියන 04 ක ආධාරයක් හිමි වේ.

ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනයටද ආධාර හිමිවන අතර සමාජ ඒකාබද්ධතාව සඳහාද පහසුකම් සැපයීම සිදු කෙරේ.

මේ අතර ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයේ සංවර්ධනය වෙනුවෙන් ජර්මනියේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවිධානය සමඟ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබිණි.

කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය කේන්ද්‍ර කොටගත් මෙම ගිවිසුම මගින් කළමනාකරණ ශිල්පකර්ම, විලාසිතා වෙනස්කම්, ධාරිතා පරිභෝජනය වැනි විෂය ක්ෂේත‍්‍රයන්හි රෙදිපිළි කරමාන්ත අංශයේ තාක්ෂණික ධාරිතා සංවර්ධනය අපේක්ෂා කෙරේ.

මෙමගින් තාක්ෂණික කුසලතා සංවර්ධනය, තාක්ෂණික හුවමාරුව, තොරතුරු තාක්ෂණය භාවිතා කිරීම, වෙළෙද පොළ පර්යේෂණ හා රෙදිපිළි කර්මාන්ත අංශයේ විවිධ අධ්‍යාපනයන් පිළිබඳ දෙරට අතර සහයෝගිතාවය වර්ධනය කරයි.

එමෙන්ම ආයුර්වේද, ශාකසාර, මල් නිෂ්පාදන, විදුලි උපකරණ, තොරතුරු සන්නිවේදන තාක්ෂණය, ලෙදර්, මුහුදු ආහාර, බිම වර්ග ආදිය කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නිෂ්පාදන ලෙස අපනයන කිරීමේ අවස්ථාව වැඩිදියුණු කෙරෙනු ඇත.

01 (3)ශ්‍රී ලංකාව වෙනුවෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ගිවිසුම්වලට අත්සන් තැබීය.

ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමට හොඳ ආර්ථිකයක් අවශ්‍ය බව මෙහිදී පැවසු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඒ සඳහා ජර්මන් රජයේ සහාය අපේක්ෂා කරන බව ද පැවසීය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම, ධීවර, සංචාරක යන කර්මාන්තවල ප‍්‍රවර්ධනය වෙනුවෙන් ජර්මනියේ සහාය අපේක්ෂා කරන බවද පැවසීය.

යුද්ධය පැවති ප්‍රදේශවල සියයට 20 ක් සහ අනෙකුත් ප‍්‍රදේශවල සියයට 7 ක් රැකියා වියුක්තියෙන් පෙළෙන අතර නිෂ්පාදන ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම තුලින් ඊට විසඳුම් සෙවීම රජයේ අපේක්ෂාව බව ද ජනාධිපතිතුමා පැවසීය.

ශ්‍රී ලංකාවේ පශු සම්පත් සංවර්ධනය වෙනුවෙන් සහාය ලබාදෙන ලෙස ද ජනාධිපතිතුමා මෙහිදි ජර්මන් ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඊටද සිය එකඟතාවය පළ කළ ජර්මන් ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ගමනා ගමන පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ජර්මන් රජයේ සහාය ලබාදීමට අපේක්ෂා කරන බව ද පැවසීය.

GSP+ සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීම පිළිබඳ ඉතා සුබදායී තත්ත්වයක් ඉදිරියේදී ඇතිවනු ඇති බවට ද ජර්මන් ආර්ථික කටයුතු අමාත්‍යවරයා මෙහිදී විශ්වාසය පළ කළේය.

තමා ලබන මැයි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ජර්මනියේ ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් පිරිසක් සමඟ බව ද අමාත්‍යවරයා පැවසීය.

ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම එක් කර ගනිමින් ශ්‍රී ලංකාව ගොඩනැගීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගෙන යන වැඩපිළිවෙළ ඉතා ප්‍රශංසනීය බව පැවසූ අමාත්‍යවරයා එයින් ජර්මනියටද ලබාගත හැකි ආදර්ශයන් බොහෝ බව කියා සිටියේ ය.

01 (1)මේ අතර ජර්මන් ආර්ථික සහයෝගිතාවය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිනි Dagmar Wöhrl මහත්මියද අද ජනාධිපතිතුමා හමු වූවාය.

තමා පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර එහිදී ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය සියැසින් දැක බලා ගත් බව පැවසූ සභාපතිවරිය ඉදිරි සතියේදී නැවත ශ්‍රී ලංකාවට පැමිණිමට අපේක්ෂා කරන බවත් එහිදී දෙරටේ ආර්ථික සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡුා කරන බවත් කියා සිටියාය.

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය