11 welcome

ශ්‍රී ලංකා – ඉන්දූනීසියා රාජ්‍ය නායකයින් හමු වෙයි.
දෙරටේ ආර්ථීක සහ වෙළඳ සහයෝගීතාවය තවදුරටත් ඉහළ නංවා ගැනීමට නායකයින්ගේ පුළුල් අවධානය.

ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ විඩඩෝ :න‍දනද උසාදාද- මහතා අතර නිල හමුව අද (08) පෙරවරුවේ සිදු විය.

වසර 40 පසුව ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකුට ඉන්දූනීසියාවේ නිල සංචාරයක් සඳහා ලැබුණු ප්‍රථම නිල ආරාධනය සනිටුහන් කරමින් අද පෙරවරුවේ ඉන්දුනීසියා ජනාධිපති නිල නිවස වන මර්ඩේකා මන්දිරය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉන්දුනීසියා ජනාධිපතිතුමා විසින් ඉතා උණුසුම් සහ සුහදශීලි ලෙස පිළිගනු ලැබීය.

ශ්‍රී ලංකා ජනාධිපතිතුමා පිළිගැනීම වෙනුවෙන් විචිත්‍රවත් පිළිගැනීමේ උත්සවයක් ද මර්ඩෙකා මන්දිරයේදී සංවිධානය කර තිබූ අතර ආචාර වෙඩි මුර 21 ක් සහිත හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදු විය.

රාජ්‍ය නායක දෙපළ අතර සුහද හමුවෙන් පසු ද්වි පාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මෙම සංචාරය තුළින් දෙරට අතර මිත්‍රත්වය වඩාත් ශක්තිමත් වන බව ඉන්දුනීසියා ජනාධිපතිතුමා සඳහන් කළේය.

දෙරට අතර සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කර ගැනීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීම පිළිබඳ මෙහිදී නායකයින් අතර දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ අතර දෙරටේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහනක් පිළිබඳව ද අවධානය යොමු විය.

කලාපීය ආරක්ෂාව ශක්තිමත් කර ගැනීම සඳහා සාමුහිකව කටයුතු කිරීම පිළිබඳව ද රාජ්‍ය නායකයින් සාකච්ඡා කළහ.

එමෙන්ම රටවල් දෙක අතර නිදහස් වෙළඳ ගිවිසුමක් ඇතිකර ගැනීම පිළිබඳව ද අවධානය යොමු වූ අතර දෙරටේ විදේශ කටයුතු අමාත්‍යාංශ හරහා එහි පසුබිම සොයා බැලීමට සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩපිළිවෙළ වෙනුවෙන් අවශ්‍ය ඕනෑම සහයක් ලබාදෙන බව මෙහිදී ඉන්දුනීසියා ජනාධිපතිතුමා පැවසූ අතර ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ උදෙසා සහයෝගයෙන් කටයුතු කිරීමට ද නායකයින් සාකච්ඡා කළහ.

ඉන්දූනීසියාවේ පෞද්ගලික සහ රජයේ ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා ඉඩ ප්‍රස්ථා විවර කර දිය හැකි බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා අවශ්‍ය බදු සහන සහ පහසුකම් සපයාදීමට රජය සූදානම් බව කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ජනාධිපතිතුමා මෙහිදී ඉන්දූනිසියා ජනාධිපතිතුමා වෙත ආරාධනා කළ අතර ලබන මැයි මස ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවය සඳහා ඉන්දුනීසියා රජයේ නියෝජිතයෙකු සහභාගී කරවන ලෙස ද ඉල්ලා සිටියේය.

අනතුරුව ශ්‍රී ලංකාව සහ ඉන්දූනීසියාව අතර අවබෝධතා ගිවිසුම් දෙකකට ද රාජ්‍ය නායකයින් ඉදිරියේ අත්සන් තැබිණි.

ශ්‍රී ලංකාව සහ ඉන්දූනීසියාව අතර සමුද්‍රීය හා ධීවර සහයෝගීතාවය පිළිබඳ අවබෝධතා ගිවිසුමක් සහ සාම්ප්‍රදායික කර්මාන්ත ක්ෂේත්‍රයේ සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමකට මෙලෙස අත්සන් තැබුණු අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය දුලීප් වෙදආරච්චි මහතා සහ ඉන්දූනීසියාව වෙනුවෙන් එරට සමුද්‍රීය කටයුතු හා ධීවර අමාත්‍යවරයා ගිවිසුම්වලට අත්සන් තැබීය.

ගිවිසුම් අත්සන් තැබීමෙන් අනතුරුව රාජ්‍ය නායක දෙපළ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට ද එක් විය.

අනතුරුව ඉන්දූනිසියා ජනාධිපති ජෝකෝ විඩඩෝ මැතිතුමා විසින් පිරිනමන ලද විශේෂ දිවා භෝජන සංග්‍රහයට ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස සහභාගී වූහ.

01

02

04

05 guard of honour

10 one to one meet

11 welcome

12

14 press

21 Srilankan Deligation

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය