1 (10)

සංහිදියාව ශක්තිමත් කරමින් සෑම ආගමික දර්ශනයක්ම අපේක්ෂා කරන මිනිසුන්ගේ හදවත් එක් කිරීමේ කාර්යයේ දී සැබෑ පණිවිඩකරුවා වන්නේ ආධ්‍යාත්මික නායකයින් බව ජනාධිපතිතුමා පවසයි. ත‍්‍රිපිටකය, බයිබලය, කුරානය මෙන්ම බගවත්ගීතාව තුළ ද අප බලාපොරොත්තුවන සංහිදියාවට මග පෙන්වා තිබෙන බව සදහන් කළ ජනාධිපතිතුමා බෞද්ධ භික්ෂුන් වහන්සේ මෙන්ම, හින්දු, ඉස්ලාමීය, කතෝලික සියලූ පුජකතුමන්ලාට මෙය සමාජය තුළ ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක කිරීමේ වගකීම පැවරෙන බව කියා සිටියේය.ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (09) පස්වරුවේ දංකොටුව, සිංගක්කුලියේ පැවති ‘එරබදු වසන්තම්’ ජාතික හා ආගමික සංහිදියාව පිළිබද සංස්කෘතික ප‍්‍රසංගය සහ ස්වර්ගස්ථ කලාසූරි මර්සලින් ජයකොඩි පියතුමාට උපහාර පිදීමේ උත්සවය අමතමිනි. සරසවි කලා සංගමය විසින් මෙය සංවිධානය කර තිබුණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ඉතිහාසයේ සිට අප රට ගොඩනැගුණේ සියලූ ජනකොටස් අතර පැවති සාමය සහ සංහිදියාව නිසා බවයි.
අද දවසේ ද සියලූ ජන කොටස් අතර සාමය සහ සංහිදියාව තහවුරු කරමින් ශක්තිමත් ජන පවුරක් ලෙස අප ඉදිරියට යා යුතු බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.සංහිදියාව යන වචනයට කවුරුන් අපහාස, උපහාස කළ ද මේ රටේ අනාගතය රැදී පවතින්නේ එය නිවැරදිව අර්ථ දක්වමින්, සමාජය තුළ යතාර්ථවාදී ලෙස කි‍්‍රයාත්මක වූ විට බව ද ජනාධිපතිතුමා සදහන් කළේය.මේ රටේ සැමගේ සිත් දිනා සිටි පූජක උතුමෙක් මෙන්ම විශිෂ්ට කලාකරුවෙකු වූ මර්සලින් ජයකොඩි පියතුමාගේ සේවය මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.එම සේවය අගය කරමින් එතුමාගේ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක වන විනිෆි‍්‍රඩා ජයකොඩි මහත්මිය වෙත උපහාර තිළිණයක් පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, හිටපු අගරදගුරු අති උතුම් ඔස්වල් ගෝමස් පියතුමා ඇතුළු කි‍්‍රස්තියානු, කතෝලික, හින්දු පූජකතුමන්ලා ද, අමාත්‍යවරුන් වන ගාමිණි ජයවික‍්‍රම පෙරේරා, අනුර පි‍්‍රයදර්ශන යාපා, වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු, යන මහත්වරුන් ද සරසවි කලා සංගමයේ සභාපති ආනන්ද කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2 (12)

3 (9)

4 (11)

5 (10)

6 (11)

8 (5)

9 (5)

10 (12)

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය