07

පොදුජනතාවගේ ව්‍යාපාරයක් වූ සමූපකාර ව්‍යාපාරය ශක්තිමත් කිරීම සදහා රජයක් ලෙස ගත හැකි සෑම තීන්දු තීරණයක්ම ගන්නා බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා සමූපකාර ව්‍යාපාරය බදුවලින් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී උපරිම කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද සදහන් කළේය. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (01) පස්වරුවේ කුරුණෑගල මාලිගාපිටිය කී‍්‍රඩාංගණයේ පැවති 95 වන ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම් උත්සවය අමතමිනි.

පොදු ජනතාවගේ හිතවතා ලෙස කටයුතු කරන මානවවාදී ව්‍යාපාරයක් වු සමූපකාර ව්‍යාපාරය ශක්තිමත් කිරීම යනු රටේ දුගී භාවය තුරන් කිරීමේ වැඩපිළිවෙළේ ප‍්‍රධාන සාධකයක් බව ද ජනාධිපතිතුමා මෙහිදී සදහන් කළේය.විදේශ වත්කම් ශක්තිමත් කිරීමට මෙන්ම අපනයන ආදායම වැඩි කිරීම සදහා ද සමූපකාර ව්‍යාපාරයට අයත් බොහෝ ක්ෂේත‍්‍ර වැඩිදියුණු කළයුතු බව සදහන් කළ ජනාධිපතිතුමා තිබෙන කර්මාන්ත වැඩිදියුණු කිරීම මෙන්ම නව කර්මාන්ත ඇති කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

සමූපකාර ව්‍යාපාරයේ තිබෙන ගැටලූ නිරාකරණය කර ගනිමින් එය හෙට දවසේ ශක්තිමත් ව්‍යාපාරයක් බවට පත් කරමින් නව ජවයක් සහ නව වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට ගෙන යාමට රජයේ සියලූ වගකීම් නොපිරිහෙළා ඉටුකරන අතරම මෙරට සමූපකාර ව්‍යාපාරයේ 2020 දැක්ම සාර්ථක කර ගැනීම සදහා ක්ෂේත‍්‍රයේ සියලූදෙනා තම වගකීම් ඉටුකළයුතු බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

‘සමුපකාර සංවර්ධන 2020 දැක්ම’ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය. සමුපකාර මණ්ඩලය මගින් වයඹ පළාත් සමුපකාර සේවක අරමුදල සදහා ලබාදුන් රුපියල් මිලියන 100 ක මුදලට අදාළ චෙක්පත මෙහිදී ජනාධිපතිතුමා අතින් නිල වශයෙන් පිළිගන්වනු ලැබීය.

ජාත්‍යන්තර සමූපකාර දින සැමරුමට සමගාමීව සංවිධානය කළ තරගවල ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් වෙත සම්මාන සහ සහතික පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර අඩු ආදායම්ලාභී පවුලක් වෙනුවෙන් ඉදිකළ නිවසක යතුර ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය. වයඹ පළාත් මාර්ග, ප‍්‍රවාහන, සමුපකාර සංවර්ධන හා වෙළෙඳ, නිවාස ඉදිකිරීම්, කර්මාන්ත සහ ග‍්‍රාමීය සංවර්ධන අමාත්‍ය ගුණදාස දෙහිගම මහතා විසින් ජනාධිපතිතුමා වෙත ද සමරු තිළිණයක් පිළිගැන්වීය.

අමාත්‍යවරුන් වන අනුර ප‍්‍රියදර්ශන යාපා, ගාමිණී ජයවික‍්‍රම පෙරේරා, එස්.බී නාවින්න, රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක, චම්පිකා පේ‍්‍රමදාස, වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක, ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජේ.සී. අලවතුවල සහ ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුථ ප‍්‍රදේශයේ මහජන නියෝජිතයින් ද සමුපකාර කොමසාරිස් එල් නසීර් මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

06 05 04 02 10 11 12 13

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය