Maithripala Sirisena - 01

අද මේ අවස්ථාවට එක්වීමට ලැබීම පිළිබඳව මා අතිශයින් සතුටට පත්වෙනවා. වයඹ පළාත මේ රටේ අභිමානවත් කතාව තුළ සියලූ දෙයින් සම්පූර්ණ වූ ප‍්‍රදේශයක්. සමාජ දියුණුව, කලා ශිල්ප, ශාස්ත‍්‍රීය දියුණුව යන සියල්ල සම්බන්ධයෙන් වයඹ පළාතට හිමිවන්නේ ප‍්‍රමුඛ ස්ථානයක්. අපේ රට කෘෂිකාර්මික රටක්. අද තාක්ෂණය අධි වේගයෙන් දියුණු වන යුගයක ඒ තාක්ෂණය තුළ ප‍්‍රමුඛ අංශයක් තමයි ආහාර නිෂ්පාදනය. අපේ අතීතයේ ආහාර නිෂ්පාදන සංස්කෘතියේ තිබෙන සිරිත් විරිත්, සම්ප‍්‍රදායන් ඉතා වැදගත්. ගොවි බිම්වලට ගිය විට වැඩිහිටියන් තුළ තිබෙන අතීත අත්දැකීම් සමග තමයි දකින්නට තිබෙන්නේ. තාක්ෂණය කොතෙක් දියුණු වුණත් අපේ සංස්කෘතීන්, සිරිත් විරිත් ඉහළට ගත යුතුයි. ආහාර නිෂ්පාදන වැඩසටහනක තිබෙන වැදගත්කම අපේ ආහාර නිෂ්පාදනය කර ගැනීමම නොවෙයි. අපේ රටේ ආහාර නිෂ්පාදන සංස්කෘතිය තුළ අපට එක්වූ සංස්කෘතීන් කොතෙක් තිබෙනවාද. ගමක සිටින සියලූදෙනාගේ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ දී තිබූ සංවිධානගතකම වෙල්යායක, කුඹුරක අත් විඳපු ඔබ ඒ පිළිබඳව දන්නවා. සාමූහිකත්වය, පොදුබව, විනය, හැදිච්චකම එන්නේ එකමුතුවක් තුළ. ඒ එකමුතුව ඇතිවුණේ ග‍්‍රාමීය සංස්කෘතියේ ආහාර නිෂ්පාදනයක් සමඟයි. ඒක ඈත අතීතයේ සිට මානවයාගේ කතාවේ ප‍්‍රධාන අංශයක් වෙනවා. එහි දී ආහාර නිෂ්පාදනය සඳහා එකමුතු වුණා. දැන් අධිතාක්ෂණය සමඟ ඒ එකමුතුව නැතිව ගිහින් තිබෙනවා. අලූත් යන්ත‍්‍ර සූත‍්‍ර පැමිණිවිට ඒ එකමුතුව අඩු වෙලා තියෙනවා. වැව, කුඹුර, අමුණ, වෙල්යාය ආදිය අපේ ජීවිතවලට බැඳිච්ච කරුණුයි. ඒ බැඳිච්චකම සමග අපේ සුහදකම්. නෑදෑකම් ගොඩනැඟෙනවා. අද රටක් ලෙස අපිට ඇති අභියෝග අපි තේරුම් ගත යුතුයි. මෙතන අපි කතාකරන්නේ කොට කිඹුලාකඩ අමුණ ප‍්‍රතිසංස්කරණයත් එක්ක ඇතිවන වැව් ගණනාවක ප‍්‍රතිසංස්කරණ පිළිබඳවයි. එල්ලංගා පද්ධතිය කියන එක අපේ ශබ්ද කෝෂයේ පැරණි වචන මාලාවේ තිබූ වචනයක්. මොරගහකන්ද කළුගඟ ජලාශය විදේශ ආධාර සමග රුපියල් කෝටි 23000ක් වැය කරලා හැදෙනවා වගේම ඒ ඉංජිනේරුවරු සැලසුම් කළා මහවැව්, මධ්‍ය ප‍්‍රමාණයේ වැව්, සුළු වැව් ආදියත් ප‍්‍රතිසංස්කරණය කරන්න.

ඒ තුළ මොරගහකන්ද කළුගඟග ජලාශය තුළ වයඹ පළාතේ රජරට ප‍්‍රදේශයේ උතුරු මැද ඒ වගේම නැගෙනහිර, ඒ වගේම මධ්‍යම පළාතේ වැව් අමුණු 2300ක් ප‍්‍රතිසංස්කරණය වෙනවා. ඒ වැව් අමුණු 2300ක් ප‍්‍රතිසංස්කරණය වීමේ වැඩ පිළිවෙළට තමයි මේ ව්‍යාපෘති ඇතුළත් වෙලා තියෙන්නේ. මේ ව්‍යාපෘතිවලට අවශ්‍ය සල්ලි ඒ අනුව තමයි ලැබෙන්නේ. අපිට විදේශ ආධාර එක පැත්තකින් ණය, ඒ වගේම දේශීය වශයෙන් භාණ්ඩාගාරයෙන් ගන්න මුදල් මේවත් එක්ක තමයි මේ වාරි පද්ධතිය සකස් වෙන්නේ. වාරි පද්ධතියක් සකස්වීම තුළ ප‍්‍රධාන වශයෙන්ම අපේ ආර්ථිකය ගොඩනැගෙනවා. කෘෂි ආර්ථිකය අපේ ජීවන තත්ත්වය යහපත් තත්ත්වයකට පත් වෙනවා. මූලිකම දේ තුන්වේල කන්න, බඩගින්න නැතිව යමක් තමන්ට නිෂ්පාදනය කර ගන්න ඒ සඳහා අවශ්‍ය මාර්ගය පෑදෙනවා. වැවේ අමුණේ, ඇළේ දොළේ, කුඹුරේ, ළිඳේ වතුර ටික තියෙනවනම් තුන්වේල කෑම ප‍්‍රශ්නයක් නෑ. නමුත් බඩගින්න දැනෙන්නේ වතුර නැතිව ගියාම. වර්ෂාව නැතිව ගියාම. වර්ෂාව ජලය ජල මූලාශ‍්‍ර රැකෙන්නේ මොන විදියටද. ආහාර නිෂ්පාදන කරන්න ජලය අවශ්‍යයයි වගේම ආහාරවලට වගේම මිනිසෙකුට ජීවත් වෙන්න.ජලය අවශ්‍යයි කියලා කියන එක මම කියලා දෙන්න ඕන නෑ මට වඩා හොඳට ඔබ දන්නවා. ඒ වගේම තමයි එහෙම නම් ජලය ලැබෙන්නේ කොහෙන්ද. ජලය ලැබෙන්නේ ජල මූලාශ‍්‍රවලින්. එක පැත්තකින් වර්ෂාවෙන් ජලය, අනෙක් පැත්තෙන් මහ පොළොවෙන් ගලා එන ජලය, පොළොව යටින් මේ සියල්ල අපි ඒකරාශි කර ගන්නට ඕන.

ඒ ඒකරාශී කරගන්න ඉතාමත් වැදගත් අංශයක් තමයි අපි අපේ තිබෙන ගහකොළ ආරක්ෂා කර ගන්න එක. වනාන්තරය ආරක්ෂා කරගන්න එක. වනන්තරයට ආදරය කරපු ගැමියා සැමවිටම තමන්ගේ ප‍්‍රදේශය තුළ ජලය ආරක්ෂා කර ගත්තා. ඒ ගැමි සංස්කෘතිය තුළ තිබුණ ප‍්‍රධාන දෙයක් තමයි වනය ආරක්ෂා කර ගන්නා එක. කැලය ආරක්ෂා කර ගන්නා එක. දැන් අපි අලූත් නීති රීති හැදුවේ ඇයි වනාන්තරය ආරක්ෂා කර ගන්න. අලූත් නීති රීති හැදුවේ අපේ හාමුදුරුවනේ මිනිසුන්ට හුස්ම ගැනීමේ අයිතිය ලබා දෙන්න. වනය නැත්නම්, කැලෑව නැත්නම්, ඔබ දන්නවා ප‍්‍රධාන වශයෙන්ම වාතය තුළ එන විශේෂයෙන්ම මිනිසාට අවශ්‍ය ඔක්සිජන් අවශ්‍ය ප‍්‍රමාණය එන්නේ නෑ. අද ලෝකයේ අධි තාක්ෂණයෙන් ඉහළම දියුණුවක් තියෙන රටවල්වල. චීනය, ළඟම තියෙන රටක් ගත්තොත් දුප්පත්කම ඇතිවුණත් තාක්ෂණයෙන් ඉහළයි ඉන්දියාව. යුරෝපයට සමාන රටවල්වලත් ජපානයෙ පවා, ප‍්‍රධාන නගරවල කරේ එල්ල ගෙන යන ඔක්සිජන් බෑග් එක අද බොහෝ සුලභ දෙයක්. ඒකට හේතුව වනාන්තර විනාශ කිරිම, ජලය නොමැතිකම. ලංකාවේ ජල උල්පත් සිදෙන්න, ජලය නොමැති වෙන්න ප‍්‍රධාන හේතුව වනාන්තර විනාශවීම. අපිට ජලය නැත්නම් අපි කොච්චර වැව් බැන්දත්, අමුණු බැන්දත් වැඩක් නෑ. වැව හදන්න වැව ප‍්‍රති සංස්කරණය කරන්නෙ අමුණු හදන්නේ ජලය එකතු වෙන්න. හැබැයි ජලය නොමැති නම් මේ කරන දේවල්වල වියදම්වල ප‍්‍රතිඵලයක් තියෙනවද. එහෙමනම් වැව හදනව වගේම, අමුණ හදනව වගේම ප‍්‍රධාන වශයෙන්ම ජලය කොහොමද අපි ලබාගන්නේ කියන කාරණාවට අපේ හිත යොමුවෙන්නට ඕන.

එහි දී මූලිකම දේ තමයි මහ පොළොවේ ජල මූලාශ‍්‍ර ආරක්ෂා කර ගන්න එක. ප‍්‍රධාන වශයෙන්ම වර්ෂා ජලය ආරක්ෂා කර ගන්න එක. අපි අලූත් නීති රීති හඳුදුන්වලා දුන්නම මම හිතන්නේ අතේ ජංගම දුරකථනය තියෙන අය දන්නවා පහුගිය සතිය තුළ මොන තරම් ප‍්‍රහාර මට එල්ල වුණාද කියලා. අපි මේ කථා කරන්නේ වාපි සංග‍්‍රාමය. ජලය පිළිබඳව සංග‍්‍රාමයටයි මේ අද අපි එකතු වෙලා ඉන්නේ. වාපි සංග‍්‍රාමය, කෘෂි සංග‍්‍රාමය, අධ්‍යාපනය සංග‍්‍රාමය, කර්මාන්ත සංග‍්‍රාමය, මේවා රටේ සංවර්ධනයට අවශ්‍යයි. නමුත් වාපි සංග‍්‍රාමය යට ගිහින්, කෘෂි සංග‍්‍රාමය යට ගිහින්, අධ්‍යාපනයේ සංග‍්‍රාමය යට ගිහින්, මත් ද්‍රව්‍ය විරෝධී සංග‍්‍රාමය යට ගිහින්, උඩට එන්නේ මොනවද. වෛරයේ සංග‍්‍රාමය. කුහකකමේ සංග‍්‍රාමය, පෞද්ගලික දේශපාලන න්‍යාය පත‍්‍රවල සංග‍්‍රාමය. ඒ තුළ තමයි විශේෂයෙන්ම ඔබට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. දැන් අපි මේ ගමක එකතු වෙලා යහපත් දේ අවශ්‍ය දේ ජීවන තත්ත්වය උසස් කරන්න අවශ්‍ය දේ මොන තරම් අපි කථා කළත් හවසට රූපවාහිනියෙන් දකින්නෙත්, අතේ තිබෙන ජංගම දුරකථනයේ සමාජ වෙබ් අඩවිවල දකින්නෙත්, සෝෂල් මීඩියාවල දකින්නෙත් වෛරයේ ක්‍රෝධයේ සංග‍්‍රාමය. ඒකයි මම කිව්වේ කුහකකම්, දේශපාලන න්‍යායපත‍්‍ර සහිත නොදියුණු මිනිසුන්ගේ ලක්ෂණ පහළ වෙලා තිබෙනවා සමාජය තුළ. නොදියුණු මිනිසුන්ගේ ලක්ෂණ පහළවන්න, පහළවන්න රට ගොඩනගන්න තිබෙන ආත්ම ධෛර්ය, ආත්ම අභිමානය, ඕනෑකම, පරිත්‍යාගය මේවා හිත්වලින් යනවා. ගිහිල්ලා අපි හිස් මිනිසුන් බවට පත්වෙනවා. එහෙම හිස් මිනිසුන් බවට පත්වුණාම අපි දන්නේ නැහැ අපි කොයිතරම් පහළ මට්ටමකට වැටෙනවාද කියලා. අපි වනාන්තරය ආරක්ෂා කරලා නීති රීති හදලා, රටට ඒ ගැන පැහැදිලි කළේ ඒ ගැන අධිෂ්ඨානශීලි වෙන්න. ලංකාවේ වන ඝණත්වය සියයට 28 යි. අවුරුද්දකට සියයට 1.5 ක් වන ඝණත්වය අඩුවෙනවා. එහෙම වුණාම තව වසර 20 ක් යන කොට ලංකාවේ වනාන්තර ඉවරයි. ලංකාවේ වැඩිම වන ඝණත්වය තිබෙන්නේ ඔබ දන්නවා උතුරු ප‍්‍රදේශයේ. ප‍්‍රභාකරන්ට ගරිල්ලා සටන් කරන්න වනාන්තර අවශ්‍ය වුණ නිසයි ඒවා රැකිලා තිබෙන්නේ. ඒ නිසා ප‍්‍රභාකරන් ඒ වනාන්තරය ආරක්ෂා කරගත්තා. රටේ අනෙක් ප‍්‍රදේශවල දැව ජාවාරම්කාරයෝ, දේශපාලනඥයන් සම්බන්ධ මේ ජාවාරම්කාරයෝ පසුගිය වසර ගණනාවන්වල මේ රටේ වනාන්තරය විනාශ කළා. ඒකේ ප‍්‍රතිඵලය තමයි ජලය පිළිබඳ ප‍්‍රශ්නය. කුලියාපිටිය ප‍්‍රදේශයේ තිබෙන ජල ප‍්‍රශ්නය පිළිබඳ මා දන්නවා.

අපි ආහාර නිෂ්පාදනය සඳහා කැපවෙනවා වගේම, අපේ ජලය රැුකගන්න, වනාන්තරය රැකගන්න, අපි ප‍්‍රමුඛත්වයක් දීම ඉතාමත් අවශ්‍යයි. ඒ නිසා තමයි මේ යෝධ සංවර්ධන ක‍්‍රියාත්මක කරලා තිබෙන්නේ. මේවා සංවාදයට ලක්වන්නේ නැහැ. මේවා ගැන කතාකරන්නේ නැහැ. මේ වැඩපිළිවෙළට උර දෙන්නේ නැහැ. උඩට එන්නේ හිස් දේවල්. සාකච්ඡුාවට ගන්නේ හිස් දේවල්. මේක දියුණුවන ජාතියක ලක්ෂණයක් නෙමේ. දියුණුවෙන ජාතියක්, තමන්ගේ මව්බිම, ආත්මශක්තිය, ආත්මඅභිමානය, ජනතාව, මූලික වශයෙන් තිබෙන සම්පත් රැුකගැනීම, මේවාට අපි ප‍්‍රධාන වශයෙන්ම කැපවන්නට ඕන. අද බොහෝ වෙලාවට වනාන්තරය ආරක්ෂා කරන්න ඕන ගස් කපන්න හොඳ නැහැ කියලා අලූත් නීති රීති හඳුන්වා දුන්නාම මහා යෝධ සංග‍්‍රාමයක් දියත් කළා මට විරුද්ධව, තාමත් කරනවා. ඒවා දේශපාලන න්‍යාය පත‍්‍ර. මේ දේශපාලන න්‍යාය පත‍්‍ර තමයි රට විනාශ කරලා තිබෙන්නේ. රටක් දියුණු වෙන්න තිබෙන්න ඕන රට ගොඩනගන න්‍යාය පත‍්‍ර. නමුත් අපේ හැදියාව, දේශීයත්වය, ශිෂ්ටත්වය බොහෝ වෙලාවට සමාජ වෙබ් අඩවිත් සමඟ යට ගිහින් තිබෙනවා.

අද බොහෝ වෙලාවට ඔබලාගේ අවධානය යොමුවන්නේ සමාජ වෙබ් අඩවිවලට. රජයේ නිලධාරීන් කැඳවපුවාම රැස්වීමකට එයාලගෙත් වැඬේ දුරකථනය තියාගෙන ඒක දිහා බලන් ඉන්න එක. ඇමති මණ්ඩලය රැස් කළාම ඇමති මණ්ඩලයට එන ඇමතිවරුනුත් දුරකථනය තබාගෙන අවධානය ඒකට යොමුකරගෙන ඉන්නවා. මම අවුරුද්දකට දෙකකට පෙරම ඇමතිවරුන්ට දුරකථන ගේන එක නැවැත්තුවා. රටේ ජාතික ආරක්ෂාවට සාකච්ඡුා කරන්නේ මොනවාද? ගන්න පියවරයන් මොනවාද? ඒවා මුකුත් නැහැ දුරකථනයට ඇන ඇන ඉන්නවා ඒක දිහා බලාගෙන. සිගරට් අරක්කු වගේ තමයි.
මත්ද්‍රව්‍ය විරෝධී සංග‍්‍රාමය අපි ආරම්භ කළා. එයින් හොඳ ප‍්‍රතිඵල ලැබුණා. අපි හොඳ තීරණයකට ආවා. පසුගිය අපේ‍්‍රල් මාසේ 03 වෙනිදා මේ රටේ පාසල් දරුවන් ඇතුළු රජයේ සේවකයන් සියලූ දෙනා මත්ද්‍රව්‍ය මර්දනයට තමන්ගේ බක්මහ දිවුරුම ප‍්‍රකාශයට පත් කළා. ඒ සියල්ලම අපේ‍්‍රල් 21 වෙනිදා ත‍්‍රස්තවාදීන්ගේ බෝම්බ ප‍්‍රහාරයත් එක්ක යට ගියා. බොහෝ අසත්‍ය දේවල් සමාජයේ උඩට ආවා. සත්‍යය යට ගියා යහපත් දේ මැකී ගියා. අපි දැන් උත්සාහ කරන්නේ බෝම්බයත් එක්ක යට ගිය සත්‍යය යළි නගා සිටුවන්න. යහපත් දේ යළි නඟා සිටුවන්න. ගොඩනැගුණු අසත්‍ය යටපත් කරන්න. නිවැරදි දේ පිළිබඳව දැනුවත් කරන්න.

මේ මාසේ 26 වෙනිදා තමයි ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය. අපි ජාතික මත්ද්‍රව්‍ය සතියක් ප‍්‍රකාශයට පත් කරලා තිබෙනවා. මේ වැව හදා ගන්නවා වගේම අමුණ හදා ගන්නවා වගේම මේ සඳහා කැප වෙනවා මහන්සි වෙනවා වගේම තමුන්නාන්සේලා සිගරට් බීම නවත්වනවා නම්, දුම්බීම නවත්වනවා නම් අරක්කු බොන එක නවත්වනවා නම් බීඩි බොන එක නවත්වනවා නම් කීයක් අතේ ඉතිරිද කියලා ගනන් හදලා බලන්න.අපි කතා කරන ආර්ථිකය, දුප්පත්කම, ණය, මේ සියලූ දේවල් එකට බැඳිලා තියෙන්නේ. වැවයි, අමුණයි, වනාන්තරයයි, ජලයයි, ආහාරයි, දෛනික ජීවිතයි ජීවිතයේ තිබෙන සිරිත් විරිත් මේ සියල්ල එකම ජාලයක්.

ඒ සියල්ල එකිනෙකට සම්බන්ධයි. රජයක් විදියට කටයුතු කරන විට මේ සෑම දෙයක් පිළිබඳව හිතලා බලලා වැඩ කරන්න අවශ්‍යයි. නමුත් පෘතක්ජන මිනිසුන් විදියට සමාජයේ වේගයෙන් ඇදිලා යන්නේ වැරදි දේ පැත්තට. හරි පැත්තට ගෙන්නා ගන්න හරි අමාරුයි. හරි පැත්තට එනවා නම් පන්සලේ ද ගුවන් විදුලියේ ද රූපවාහිනියේ ද මාධ්‍ය මගින් ඔබ වහන්සේලා දේශනා කරන බණ නිසා මොන තරම් සමාජය හැදිලා තිබෙන්න ඕනෑද. නමුත් සමාජය හැදෙන්නේ නැත්තේ පෘතක්ජන ආසාව බලාපොරොත්තු ලෝභකම, වෛරය, ඊර්ෂ්‍යාව, මේ සියල්ල සමාජයේ පිරිලා තියෙන්නේ. අපි මේ සෑම දේම කරන්නේ යහපත් සමාජයක් හදන්න, යහපත් මිනිස්සු හදන්න, ඒ යහපත් මිනිස්සු හදන්න, යහපත් ආර්ථිකයක් හදන කොට එක තැනක් විතරක් හැදිලා බැහැ. වැව විතරක් හැදිලා බැහැ. අමුණ විරතක් හැදිලා බැහැ. තමන්ගේ ආර්ථිකයට බලපාන ජීවන චරිත රටාව ඒ සියල්ල වෙනස් විය යුතුයි. ඒ තුළ තමයි තමන්ගේ දරුවන්ට අනාගතයක් තිබෙන්නේ.

ඒ නිසා අපි උත්සාහ ගන්නේ කොටකිඹුලාකඩ වැව ප‍්‍රතිසංස්කරණයට එකතු වුණා වගේම මම ඉතාමත් සතුටු වෙනවා දයාසිරි මන්ත‍්‍රීතුමා මා සමඟ මේ ගැන නිතර කතා කරමින් අවශ්‍ය මුදල් සම්පාදනය කර ගෙන රජයේ නිලධාරීන් එක්ක ප‍්‍රදේශ ජනතාවත් එක්ක අනෙකුත් මැති ඇමතිවරුත් එක්ක ඉතාම හොඳ වැඩපිළිවෙලක් එතුමා ගෙන යන්නේ. අපේ පක්ෂයේ ලේකම්වරයා විදියට සංවර්ධන කාර්යයේ කැපවිම මම ඉතාමත් අගය කරනවා. දැන් විපක්ෂයේ මන්තී‍්‍ර වරයෙක් විදියට හිටියාට තමන්ගේ ප‍්‍රදේශයේ තිබෙන සංවර්ධන වැඩ කටයුතු කර ගන්න. ඒ ආදර්ශය හැම කෙනෙකුටම වැදගත් වෙනවා. පළාත් සභා ක‍්‍රමය ගත්විට ආණ්ඩුකාර පේෂල ජයරත්න මැතිතුමා ඉන්න පළාත් සභාවේ යම් කිසි මුදලක් තිබෙනවානම් මේ ප‍්‍රදේශයේ මැති ඇමතිවරුත් එක්ක ඉතාම සාධාරණ විදියට බෙදලා මේ ප‍්‍රදේශවල කටයුතු විධිමත් කරනවා. අපි සැම විටම උත්සාහ කරන්න ඕනෑ අපේ ප‍්‍රදේශයේ ආර්ථිකය දියුණු කරන්න, යහපත් ජිවන රටාවක් ඇති කර ගන්න, අපි අපේ සිරිත් විරිත් ගති පැවතුම් එක්ක යහපත් සමාජයක් ගොඩ නගන්න කැප වෙන්න අවශ්‍යයි.

එය අපේ භාවිතයේ තියෙන්න අවශ්‍යයි. ප‍්‍රශ්නය තියෙන්නේ අපි දන්නවා වැරදි කියලා නමුත් අපි වැරදි දේ කරනවා භාවිතයේ නැහැ. අරක්කු සිගරැට් කසිප්පු මේ සියල්ල වැරදි කියලා දන්නවා නමුත් ඒක අත් හරින්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මම කිව්වේ වැව හැදුවාට අමුණ හැදුවාට ඒවා අත්හරින්නේ නැතුව ජීවන තත්වය උසස් කරන්න අමාරුයි කියලා. ඒ නිසා අද වගේ දවසක කුරුණෑගල මේ ප‍්‍රදේශයට ඇවිත් තමුන්නාන්සේලා එක්ක පඬුවස්නුවර ප‍්‍රදේශයේ කොටකිඹුලාකඩ වැව ප‍්‍රතිසංස්කරණයට එක් වන්න ලැබීම ගැන මා නැවතත් සතුටු වෙමින් අපේ හමුදාවේ කාර්ය මණ්ඩල නිලධාරීන් මහත්වරුන් මේ වැව ප‍්‍රතිසංස්කරණය වැඩ කටයුතු සිදු කරන්නේ.

මම කරන බොහෝ කටයුතුවලදී යුද, නාවික, ගුවන්, හමුදාවට තමයි ඉදිකිරීම් භාරදිලා තියෙන්නේ. පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේත් එහෙමයි. ඒ නිසා ප‍්‍රධාන වශයෙන්ම මොරගහකන්ද කළුගඟ ජලාශයත් සමඟ තමුන්නාන්සේලාට ජලය ලැබෙන වයඹ මහ ඇළ දැන් ඒ කටයුතුත් ආරම්භ කරලා තියෙන්නේ අනෙක් පැත්තනේ ඉහළ ඇළ හැර වැව කියලා රජරටට. තව පැත්තකින් මිනිපේ මහ ඇළ කියලා නැගෙනහිර පැත්තට යනවා මේ ව්‍යාපෘතිය යටතේ. මේ ව්‍යාපෘතියේ කෝටි 23000 ක් වැය වෙන්නේ. මේ ව්‍යාපෘතිවල අවසානයක් දකින ඉලක්ක සහගත වැඩසටහන් සම්පූර්ණ වුණ දවසට තමුන්නාන්සේලා සමෘද්ධිමත් ආර්ථිකයක් සමග යහපත් ජීවන තත්ත්වයක් ස්ථිර වශයෙන් ලැබෙන බව ප‍්‍රකාශ කරමින්, මේ කටයුතු සම්බන්ධ වූ සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා.

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය