Presidential Media Unit Default Banner

මේ රටේ ජාතික ආර්ථිකයට, මහවැලි සංවර්ධන යෝජනා ක‍්‍රමය යටතේ තවත් ඓතිහාසික කාර්යයක් ඉටුවන උතුම් අවස්ථාවේදී ඔබ සමග එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.

මහවැලි සංවර්ධන ව්‍යාපාරය පිළිබඳව අපේ රටේ පාසල් දරුවාගේ සිට සමස්ත ජනතාව දැනුවත් වී තිබෙනවා. මහවැලි ව්‍යාපාරය පිළිබඳව කතා කිරීම ආරම්භ කළේ මේ රටේ දේශපාලනඥයින්, විද්වතුන් 1930, 40 දශකයේ සිට.

එවකට රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ දොස්තර එස් ඒ වික‍්‍රමසිංහ මැතිතුමා මහවැලිය උතුරට හැරවීම පිළිබඳව කතා කර තිබෙනවා. ඒ සාකච්ඡා සංවාද වල ප‍්‍රතිඵලයක් විදියට තමයි මහවැලි සංවර්ධන ව්‍යාපාරය පිළිබඳව මොරගහකන්ද ප‍්‍රමුඛව මූලික සඛ්‍යතා අධ්‍යයන ආරම්භ කිරීම සිදු වුණේ. 1954 මහවැලි ව්‍යාපාරය පිළිබඳව මූලික අධ්‍යයනයක් කළ වර්ෂයක් විදියට ඉතිහාසයේ සදහන් වෙනවා. ඒ වගේම මොරගහකන්ද ව්‍යාපාරය ගතහොත් මොරගහකන්ද ව්‍යාපාරය පිළිබඳව ශක්‍යතා අධ්‍යයන තුනක් සිදු වී තිබෙනවා. මෛතී‍්‍රපාල සේනානායක මැතිතුමා, ගාමිණි දිසානායක මැතිතුමා, 2000 වර්ෂයේ මම මහවැලි ඇමතිවරයා විදියට ඒ අවසන් ශක්‍යතා අධ්‍යයන සිදු කළා. ඊට පෙර 50 දශකයේ 60 දශකයේ ශක්‍යතා අධ්‍යයන් කර තිබෙනවා. ඇතැම් විට සැලසුම් සකස් කර තිබෙනවා.

1970 පෙබරවාරි මාසේ ඩඞ්ලි සේනානායක අගමැතිතුමාගේ රාජ්‍ය පාලනය තුළ එවකට පොළොන්නරුව නියෝජනය කළ සී.පී. සිල්වා මැතිතුමා පළවැනි මහවැලි අමාත්‍යවරයා විදියට ඩඩිලි සේනානායක මැතිතුමා සමග පොල්ගොල්ල වේල්ලේ වැඩ කටයුතු ආරම්භ කිරීමට මුල් ගල් තබනු ලැබුවා.

1976 ජනවාරි මාසේ 08 වෙනිදා මේ වේල්ලේ වැඩ අවසන් වෙලා බණ්ඩාරනායක මැතිනිය, මෛතී‍්‍රපාල සේනානායක මැතිතුමා සමග රජරටට ජලය හැරවීම සිදු කරනු ලැබුවා. 76 ජනවාරි 08 වෙනිදා පොල්ගොල්ලෙන් රජරට හැරවූ උත්සවයට මමත් පාරේ යන බස් එකක නැගලා ඇවිල්ලා මේ වේල්ලේ අයිනකට වෙලා ඒ උත්සවය එදා බලාගෙන හිටියා. එදා මෙදා කාලය තුළ මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ සිදු වු වෙනස්කම් මුල් කර ගනිමින් ඔබ අප කවුරුත් දන්නවා මේ රටේ ප‍්‍රමුඛතම බහුකාර්ය මහා යෝජනා ක‍්‍රමයට විදියට මහවැලි සංවර්ධන මහ සැලැස්ම 1977 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ රජය යටතේ මා මිත‍්‍ර ගාමිණි දිසානායක ඇමතිතුමාගේ නායකත්වය තුළින් වැඩ ආරම්භ කෙරුණා. ඒ වන විට බණ්ඩාරනායක මැතිනියගේ යුගය 60 දශකයේ ගතහොත් ඒ වගේම 70, කාලය ගත හොත් සෝව්යට් ඉංජිනේරුවරු වසර 30 කාලයකින් මහවැලි මහ සැලැස්ම අවසන් කිරීමටයි සැලසුම් කරලා තිබුණේ. නමුත් 77 රජය කර්මාන්ත සඳහා දුන් ප‍්‍රමුඛත්වයත් ඒ සඳහා අවශ්‍ය විදුලි බල උත්පාදනයත් මුල් කරගනිමින් කඩිනම් මහවැලි වැඩසටහන ගාමිණි දිසානායක මැතිතුමාගේ නායකත්වයෙන් ආරම්භ කළා.

ගාමිණි දිසානායක මැතිතුමා මහවැලි සංවර්ධන ව්‍යාපාරය හා ගත් විට දැඩිව බැඳුණු මේ රටේ කිසිවෙකුට අමතක කළ නොහැකි ශ්‍රේෂ්ඨ චරිතයක්. නවීන් දිසානායක මැතිතුමා මෙතන ඉන්නවා. ගාමිණි දිසානායක මැතිතුමාගේ කාලය තුළ කොත්මලේ, රන්දෙණිගල, වික්ටෝරියා, රන්ටැඹේ, මාදුරුඔය වැඩ කටයුතු අවසන් කරන්න පුළුවන් කම ලැබුණා.

මොරගහකන්ද පිළිබඳව කතාව ඒ ගෙවී ගිය දශක කිහිපයේදීම සාකච්ජාවට ලක් වුණත් මෙය කෘෂිකර්මාන්තය සඳහා ප‍්‍රමුඛ මහා ව්‍යාපෘතියක්. මෙමගින් විදුලි බල උත්පාදනය ඉතා අවම අගයකයි තියෙන්නේ. එනම් මෙගා වොට් 26,27 වැනි ප‍්‍රමාණයක්. ඒ යුගයෙදී මොරගහකන්ද පිළිබඳව එතරම් අවධානයක් යොමු වුණේ නැහැ. එහෙත් අපි පාසල් යන කාලේ සිටම අනුරාධපුර, පොළොන්නරුව, ති‍්‍රකුණාමලය, වව්නියා, උතුරු පළාත, නැගෙනහිර ඒ සියලූ පළාත්වල අපි මැතිවරණ වේදිකාවල ඇහුවා මොරගහකන්ද ජලාශය පිළිබඳව. සියලූ දේශපාලන පක්ෂවල නායකයින් සෑම මැතිවරණයකදීම මොරගහකන්ද ව්‍යාපෘතිය ගැන කතා කළා.

1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ජනාධිපති ධුරයට පත් වෙන මැතිවරණ ව්‍යාපාරයේ එතුමිය පොළොන්නරුවට පැමිණි අවස්ථාවේ කතා කරන්න කළින් මගෙන් ඇහුවා. මෛතී‍්‍ර මේ රැස්වීමේ මොනවද ජනතාවට කියන්න විශේෂ කරුණු කියලා. මම කිව්වා මැඩම්, අපි ආපු ගමන් මොරගහකන්ද ව්‍යාපෘතිය කරනවා කියලා කතාවේදි කියන්න කියලා එතුමියට කිව්වා. ඒ කාලය තුළත් ඒ සිහිනය සැබෑ වුණේ නැහැ.

2007 ජනවාරි මාසේ 25 වෙනිදා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා සමග මොරගහකන්දට මුල් ගල් තිබ්බා. එතුමා සමග මම මොරගහකන්දේ ඉතිහාසය කිව්වා. රජරට ගොවීන් ප‍්‍රමුඛව ගොවි ජනතාවගේ ජලය ඉල්ලා හඬන මහා දුක් කඳුළු කතාව වෙලේ, ඇළේ, පැළේ, කමතේ අනුවේදීය සිද්ධීන් වගේම බොන්න වතුරට ටික නැතුව, කුඹුරට වතුර ටික නැතුව, කෙත් යායට ජලය නැතුව ගොවීන් විඳින දුක ගැන මම එදා කිව්වා.

අපි 2007 ජනවාරි 25 වෙනිදා රුපියලක් වත් නැතුව මොරගහකන්දට මුල් ගල් තිබ්බා. ඒ අවුරුද්දේ මම මුලින්ම ජපානයේ ජයිකා ආයතනය සමග සාකච්ජා කළා, ඒ ආයතනය මේ ව්‍යාපෘති සඳහා මුදල් දෙන්න එකඟ වෙලා මම ඇමතිවරයා විදියට අවශ්‍ය ලිපි ලේඛන ඒ සඳහා ඉදිරිපත් කළා. එත් ඒවා ප‍්‍රතික්ශේප කරනු ලැබුවා. චීන සමාගමක් සමග මම සාකච්ජා කරලා, මූලික කටයුතු අවසන් කරලා, මම රජයට ඉදිරිපත් කළා. ඒ යෝජනාත් ප‍්‍රතික්ෂේප වුණා.

ඒ වගේම අවුරුදු 16 ක් මම ඇමතිකම් කරමින් සිටි කාලය තුළ ඉංජිනේරු මහත්වරු සමගයි මම වැඩ කෙරුවේ. අවුරුදු 16 ඇමතිවරයෙක් විදියට ඉංජිනේරු මහත්වරු සමග වැඩ කරපු මට හදිසියේ දොස්තර මහත්වරු භාර දුන්නා. දොස්තර මහත්වරුත් ඉංජිනේරු මහත්වරුත් දෙගොල්ලම එක්ක වැඩ කිරීමේ වාසනාව මට ලැබුණා.

මේ අද අපි කළ උත්සවය වන ජලය නිකුත් කිරීම වගේම වේල්ලේ වැඩ අවසන් කරලා භාර ගැනීම අපිට කරන්නට නියමිතව තිිබුණේ මීට අවුරුදු 5 කට පෙරයි. එහෙත් මේ රටේ දේශපාලනයේ ඛේදවාචකය සහ පැහැදිලි ලෙසම මේ රටේ දේශපාලන සංස්කෘතියේ ඇති ප‍්‍රධාන අවභාවිතයන් පිළිබඳව කතා කළ හොත් ඒ ජලය ලබාගන්න ජනතාවට අවුරුදු පහක් ගත වුණා මීට අවුරුදු පහකට කළින් අවසන් කරන්න තිබුණ ව්‍යාපෘතියක් මේ.

අපි වර්තමානයේ අපේ රජය යටතේ මොරගහකන්ද කළුගඟ කටයුතු කඩිනම් කළා. මේ ව්‍යාපෘතිය අවසන් වන විට මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘති, වයඹ මහ ඇළ, ඇළහැර ඉහළ ඇළ, මිනිපේ නව සංවර්ධන ව්‍යාපෘති මේ කටයුතු අවසන් වන විට රුපියල් කෝටි විසිතුන්දාහකට වැඩි මුදලක් මේ යෝධ ව්‍යාපෘති සඳහා වියදම් වෙනවා.

අපිට කළුගග ජලාශයෙන් මොරගහකන්ද ජලාශයට වතුර ගේන්න බිම් ගෙය කිලෝමීටර් 7 ක් හදන්න තියෙනවා. වයඹට වතුර ගෙනියන වයඹ මහ ඇළ එක්ක බිම් ගෙය කිලෝමීටර් 23 ක් දක්වා දිවෙනවා.

මේ යෝධ ව්‍යාපෘතිය තුළ මේ රටේ ආර්ථිකයේ විශාල වෙනසක් ඇති වෙනවා. ගොවි ජන ශිෂ්ටාචාරයේ, ගොවි ජන සංස්කෘතියේ මහා පරිවර්තනයක්, වෙනසක් වෙනවා. අපේ ජාතික ආර්ථිකයට මේ ව්‍යාපෘතිය සම්පුර්ණයෙන් වැඩ අවසන් වන විට ප‍්‍රබල ශක්තියක් ලබා දෙනවා.

එදා පෙර රජ දවස සහලින් ස්වයං පෝෂිත වූ යුගයන් ඒ ඉතිහාසය තුළ ඔබ අප දන්නවා. අපට මේ ව්‍යාපෘති තුුළ අපේ රට සහලින් ස්වයංපෝෂිත වෙලා ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් වීමත් මේ රටේ කෘෂිකර්මාන්තය වගේම මේ ව්‍යාපෘතියේ අතුරු ප‍්‍රථිපලයක් ලෙස ධීවර ක්ෂේත‍්‍රයේ වර්ධනය, කර්මාන්ත, පානීය ජලය ආදී මෙවැනි අංශ ගණනාවක පුළුල් සංවර්ධන කාර්යයන් රාශියක් ඉෂ්ට වෙනවා. ඒ නිසා මොරගහකන්ද වගේම මහවැලි සංවර්ධන ව්‍යාපාරයෙන් මේ රටේ ආර්ථිකයට දෙන දායකත්වය වගේම අනාගතයේ සමෘද්ධිමත් රටක් ගොඩනගන්න ශක්තිමත් පදනමක් මේ යෝධ සංවර්ධන ව්‍යාපාරය තුළ ඇතිවෙනවා. මේ වනවිට පවතින නියඟ තත්ත්වය ඔබ දන්නවා. දැන් වසර දෙකක් මේ නියඟ තත්ත්වය තිබෙනවා. මෙය අපට පමණක් නෙවෙයි. අසල්වැසි රටවල තත්ත්වයත් එයයි. දකුණු ඉන්දියාවෙත් නියඟය නිසා කෘෂිකර්මාන්තය වගේම පානීය ජල ප‍්‍රශ්නත් ඇවිත්. මේ කලාය තුළ බොහෝ රටවල් වලට වියළි කාලගුණ තත්ත්වය තිබෙනවා.

ආර්ථික අතින් වඩාත් ශක්තිමත් රටක් ලෙස ඉදිරියට යන්නට රටේ ජනතාවට හැකිවේවා කියා අපි ප‍්‍රාර්ථනා කරනවා. ඒ ප‍්‍රාර්ථනාව ඉටුවෙන්න සොබාව ධර්මයාගේ පිහිට ආරක්ෂාව ලැබෙන බවට අපි විශ්වාස කරනවා. කෘෂිකර්මාන්තය ඇතුළු විවිධ ක්ෂේත‍්‍ර කරා ගමන්කරන මේ යෝධ සංවර්ධන ව්‍යාපෘතියේ ප‍්‍රථිපල ලබා ගැනීමට පසුගිය කාල සීමාව තුළ මහවැලි සංවර්ධන ව්‍යාපාරයෙන් හැකිවුණා වගේම අනාගතය තුළ විශාල වශයෙන් එහි ප‍්‍රථිපල අපට ලැබෙනවා. මොරගහකන්දෙන් පමණක් හෙක්ටයාර් 82000 කට වැඩි ප‍්‍රමාණයක් නව කෘෂිකාර්මික ව්‍යාපාර සංවර්ධනය කිරීම සඳහා අපේ කෙත් බිිම් තෙත් කරන්නට හැකි යෝධ සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස අනෙකුත් විවිධ අංශවල ඇතිවෙන වෙනස්කම් තුළ මේ රටේ ආර්ථිකයට පමණක් නෙවෙයි සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට මේ තුළින් විශාල පිටිවහලක් ශක්තියක් ලැබෙනවා. රජරට වකුගඩු රෝගය නමින් හැඳින්වූ රෝගයට හේතුව පිරිසිදු ජලය නොමැතිවීම බව ඔබ දන්නවා. මේ ව්‍යපෘතිවල ප‍්‍රථිපල විදියට අනාගතයේ දී සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමේ අරමුණ ඉටුකර ගන්නට අපට පුළුවන්කම ලැබෙනවා.

මේ වැඩසටහනට පාසල් දරුවන්, රාජ්‍ය නිලධාරීන්, ගොවි ජනතාව දැනුවත් කරමින් ගෙන යන පරිසර සංරක්ෂණ වැඩසටහන් ඉතාමත් වැදගත් වෙනවා. ගස්කොළ, ඇළ දොළ ගංගා ආරක්ෂා කිරීම, ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීම අප විසින් කළ යුතු ප‍්‍රමුඛ ජාතික වගකීමක් ඇති ප‍්‍රධාන කාර්යයක් කියන එක ඔබ සෑම කෙනෙක්ම දන්නවා. ලෝකයේ ඇතිවී තිබෙන කාලගුණික දේශගුණික පරිවර්තනයන්, ජන ජීවිතයට බලපාන ප‍්‍රබල අභියෝග, ජීවත්වීමට තිබෙන අසීරුකම් මේ සියල්ල ගත්විට පරිසරයේ ඇතිවී ඇති විනාශයන් නිසා මිනිසා ප‍්‍රමුඛ සියලූ සත්ත්වයා පමණක් නොව ගස්වැල් පවා ඒ වේදනාකාරී තත්ත්වයට මුහුණ දී තිබෙනවා. ඒ නිසා පරිසර සංරක්ෂණය මහවැලි සංවර්ධන ව්‍යාපාරය තුළ ප‍්‍රමුඛ අංශයක් බව ඔබ අප කාටවත් අමතක කළ නොහැකියි.

අපි මොරගහකන්ද ජලාශයේ වැඩ පටන්ගන්නකොට පැළ සිටුවීම, වන සංරක්ෂණය, පරිසර සංරක්ෂණයේ වැඩ ආරම්භ කළා. ඒ වගේම මට මතකයි ගාමිණී දිසානායක ඇමතිතුමා කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කළ අවස්ථාවේ පැළ සිටුවමින් විශාල පරිසර සංරක්ෂණ වැඩසටහන් ආරම්භ කළා. ඒ නිසා මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වීම තුළ ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී ක්ෂේත‍්‍රත් ගත්විට මේ යුගය තුළ අපි ලැබූ භාග්‍යවන්ත අවස්ථාවක් විදියටයි මේ අවස්ථාව මා දකින්නේ.

1976 ජනවාරි 8 රජරට ප‍්‍රදේශයට ජලය හරවන විට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප‍්‍රධානත්වයෙන් පැවති උත්සවයේ දී මහවැලි ගීතය එදා ගායනා කළේ ගීතයට විශාල බලයක් ශක්තියක් දුන්න විශාරද පණ්ඩිත් අමරදේවයන් කියන එක අපි අමතක නොකළ යුතුයි. මහවැලියත් සමග මහවැලි ගීතයත් මහවැලි ගීතයත් සමග අමරදේවයන්ගේ හඬ මහවැලි ව්‍යාපාරය ගෙනයාමට විශාල ප‍්‍රබෝධයක් ලැබුවා. අද විශාරද අමරසිරි පීරිස් මැතිතුමා අද මෙහි නව ගීතයක් ගායනා කරනු ලැබුවා මොරගහකන්ද ජලාශයේ ගීතය විදියට. අමරසිරි පීරිස් මැතිතුමත් මේ රටේ දැවැන්ත කලාකරුවෙක් විදියට මහවැලි ව්‍යාපාරයට අද සිට එකතුවෙන කලාකරුවෙක් ලෙස මම එතුමාට ස්තූතිවන්ත වෙනවා ඔහුගේ දායකත්වය ලබාදීම සම්බන්ධයෙන්.

මහවැලි ව්‍යාපාරයේ මහවැලි පංච මහා ජලාශවල අවසන් ව්‍යාපෘතිය විදියට මොරගහකන්ද ජලාශයේ වැඩ අවසන් කරලා අද මේ පවත්වන උත්සවය අවස්ථාවේදී එදා මෙදා තුර පංචමහා ජලාශ විතරක් නොව මහවැලි ව්‍යාපාරය පිළිබඳව 1930-40 දශකයේ කතාකළ විද්වතුන්, දේශපාලනඥයින් 60-70 දශකයේ දී ශක්‍යතා අධ්‍යයනයන් සැලසුම් කළ ප‍්‍රධාන වශයෙන්ම ඉංජිනේරුවරුන්, කාර්මික ශිල්පීන්, තාක්ෂණවේදීන් ආදී ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයාගේ සිට කම්කරුවා දක්වා තම දැනුම, බුද්ධිය, පරිණතභාවය, ශ‍්‍රමය කැපකළ සියලූ දෙනාට ස්තූතිවන්ත විය යුතුයි.

මොරගහකන්ද ජලාශයේ වැඩ අවසන් කළ අවස්ථාවේ කිහිපදෙනෙක් මට යෝජනා කළා මොරගහකන්ද ජලාශට අපි නමක් යොදමුයි කියලා. ඒ අවස්ථාවේ මට ඉදිරිපත් කළ ඒ අදහස් සියල්ල ප‍්‍රතික්ෂේප කරලා මම කිව්වා අද මේ උත්සවයේදී මම මොරගහකන්ද ජලාශට නමක් යෝජනා කරනවා ඒ නමින් ඉදිරියේ දී අපි මොරගහකන්ද ජලාශය හඳුන්වමු කියලා. ඒ තමයි මේ රටේ ශ්‍රේෂ්ඨ ඉංජිනේරුවරයෙක් වූ ඉංජිනේරු ක්ෂේත‍්‍රයෙන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විශිෂ්ට සේවයක් කළ සැබෑ මානවවාදියෙක් වු 1994 දී මා නියෝජ්‍ය ඇමතිවරයා ලෙස මොරගහකන්ද ජලාශය පිළිබඳව දැඩි උනන්දුවකින් කටයුතු කළ අවස්ථාවේ මට මඟ පෙන්වමින් මොරගහකන්ද මහා කැලෑවේ මාත් සමග කැලෑවට ඇතුළුවෙලා සිතියම් අරගෙන ඒවා පෙන්වමින් මෙතන තමයි වේල්ල හදන්න ඕනෑ, මෙතනින් තමයි ඇළවල් යන්න ඕනෑයි කියමින් මඟ පෙන්වනු ලැබූ ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මැතිතුමාගේ නමින් මොරගහකන්ද ජලාශය නම් කළ යුතුයි කියලා මා මේ අවස්ථාවේ දී යෝජනා කරනවා.

ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මැතිතුමා මේ රටේ පමණක් නොව ලෝකයේම ප‍්‍රසිද්ධ ඉංජිනේරුවරයෙක්. ලී ක්වාන් යූ විසින් සිංගප්පූරුව ගොඩනැගීමේදී සිංගප්පූරු නගරයේ ඉදිකළ ප‍්‍රධාන ගොඩනැගිලි සැලසුම්කරන්න සිංගප්පූරුවට ගිහිල්ලා ශ‍්‍රී ලාංකික දක්ෂකම් පෙන්වූ විශිෂ්ටයෙක් තමයි ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මැතිතුමා. එතුමා නමින් මේ ජලාශය නම් කිරීමට මා යෝජනා කළේ එතුමාට ගෞරව කරනවා වගේම මේ රටේ ගෙවී ගිය දශක කිහිපයේ මහ වැව්, ජලාශ, මහ අමුණු ආදී ඒ සියල්ල ඉදිකිරිමට සිය දැනුම, ශක්තිය ආදියෙන් කැපවූ ජීවත්වන වගේම දැනට ජීවතුන් අතර නැති සියලූම ඉංජිනේරුවරුන්ට ගෞරවකිරීමක් වශයෙන් බව ද මා මෙහිදී සඳහන් කරන්නට කැමතියි.

අනාගතය පිළිබඳව වඩාත් සුබවාදී අනාගතයක් ගොඩනගමින් මේ රට ස්වයංපෝෂිත කරන්න, මේ රට ලෝකයේ ප‍්‍රබුද්ධ රටක් ලෙස ගොඩනගන්න, හෙට උපදින දරුවන් සඳහා හොඳ රටක් හදන්න අපි කැපවෙමුයි කියන ඉල්ලීම කරමින් මේ අවස්ථාවට වැඩම කළ ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේලාට අනුනායක ස්වාමීන් වහන්සේලා ප‍්‍රමුඛ ගෞරවනීය මහා සංඝරත්නයටත් සහය දුන් සියලූ දෙනාටත් පැමිණි ඔබ සියලූ දෙනාටත් මගේ ස්තූතිය පිරිනමමින් ඔබෙන් සමුගන්නවා.
ස්තූතියි.

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය