01 (19)

චාරිත‍්‍රානුකූල හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මහනුවර ශී‍්‍ර දළදා මාළිගාවේ ශී‍්‍ර නාථ දේවාල භූමියේ දී අද (15) පෙරවරුවේ පැවැත්විණි. හිසතෙල් ගෑමේ චාරිත‍්‍රය ඉටු කරමින් අද පෙ.ව 11.04 යෙදුනු සුබ නැකතට අනුව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන මහා නායක ස්වාමින් වහන්සේ විසින් ජනාධිපතිතුමා වෙත හිසතෙල් ගැල්වීම සිදු කළේය.

වැඩම කර සිටී මහා සංඝරත්නය ජය පිරිත් සජ්ජායනා කරමින් ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.ආයුර්වේද කොමසාරිස් එල්.එච්. තිලකරත්න මහතා විසින් ආයුර්වේද අත්පොත සහ මංජුසාව මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.ආයුර්වේද රෝහල් පිළිබද වෙබ් අඩවිය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.අනතුරුව ජනාධිපතිතුමා ශී‍්‍ර නාථ දේවාල භූමියේ පැවති ආගමික වතාවත් සදහා සහභාගී විය.මහා සංඝරත්නය විෂයෙහි දානමය පුණ්‍ය කර්මයක් ද ශී‍්‍ර නාථ දේවාල භූමියේ දී පැවැත්වුණු අතර ජනාධිපතිතුමා ඒ සදහා ද එක් විය.

උදා වූ අලූත් අවුරුද්දට ආශිර්වාද ලබා ගැනීමට දිවයිනේ නන් දෙසින් අතිවිශාල ජනතාවක් ශී‍්‍ර දළදා මාළිගාව වෙත පැමිණ සිටී අතර ඔවුන් මෙහිදී උදා වූ අලූත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත සිය සුබපැතුම් පළ කළ අතර ජනාධිපතිතුමා ද ඔවුන්ට අලූත් අවුරුදු සුබ පැතුම් පළ කරමින් සුහද කථා බහක නිරත විය.

ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්ම මහත්මීන් ද, දියවඩන නිලමේ නිලංග දෑල මහතා ඇතුළු බස්නායක නිළමේවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය